2009 අවුරුද්දේ මාර්තු 3 වෙනිදා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විතරක් නෙවෙයි ලෝක ක්‍රිකට් ඉතිහාසයේම අඳුරුතම දවසක්.
පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට යමින් හිටපු අපේ සිංහයින්ගේ බස් එකට ත්‍රස්තවාදීන් එකපාරටම වෙඩි වරුසාවක් එල්ල කළා. ඒ බිහිසුණු ප්‍රහාරයෙන් අපේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ලේ පෙරාගෙන වැටුණා.
සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර, තරංග පරණවිතාන, සුරංග ලක්මාල් සහ තිලිණ තුෂාර වගේ ක්‍රීඩකයින්ට මේකෙන් දරුණු තුවාල සිද්ධ වුණා.
"මගේ ඇඟේ තාමත් ඒ කෑලි තියෙනවා..."මෑතකදී මේ අමිහිරි අත්දැකීම ගැන ආයෙමත් කතා කරපු සංගක්කාර, කවුරුත් නොහිතපු කතාවක් කිව්වා.
"අපිට තුවාල වුණා. ඇත්තම කිව්වොත් මගේ ඇඟේ දකුණු පැත්තේ තාමත් ඒ ප්‍රහාරයේ කැබලි තියෙනවා..." සංගා එහෙම කියද්දි කාගෙත් ඇඟ හිරිවැටිලා ගියා.
හැබැයි මේ සුපිරි පිතිකරුවා කියන විදියට, ඒ සිදුවීමෙන් පස්සේ ඔහුට බියකරු හීන පෙනුණේ නැහැල්ලු. ඒ වෙනුවට ඒකෙන් එයාගේ මුළු ජීවිතයම දිහා බලන විදිය වෙනස් කළා කියලා තමයි සංගා කියන්නේ.
මේ ප්‍රහාරයෙන් සති කිහිපයකට පස්සේ සංගා කොළඹ පාරක වාහනේ පදවගෙන යද්දී එකපාරටම ආරක්ෂක අංශයේ නිලධාරියෙක් එයාව නැවැත්තුවලු.
"සර්.. ඔහොම ඉන්න.. ඔබට කොහොමද දැන්?" ඒ නිලධාරියා හරිම ආදරෙන් සංගාගෙන් අහලා තියෙනවා. "අපි ප්‍රවෘත්ති දැක්කා.. සර්ලා ගැන අපි ගොඩක් කම්පනයට පත් වුණා..." මේ වෙලාවේ සංගාට අමුතුම හැඟීමක් දැනිලා. ඔහු ඒ හමුදා නිලධාරියාගෙන් මෙහෙම අහලා තියෙනවා.
"මේ වගේ දේවල් (වෙඩි කෑම්, ප්‍රහාර) ඔබටත්, ඔබේ සෙබලුන්ටත් නිතරම වෙන්නේ නේද?"
ඒ වෙලාවේ ඒ හමුදා නිලධාරියා දීපු උත්තරය සංගාගේ හදවතම නතර කළා.
"ඔව් සර්... ඒකටනේ අපි අත්සන් කරලා (signed up) ඉන්නෙ..."
"අපි නෙවෙයි වීරයෝ... ඇත්තම වීරයෝ උන්නැහේලා!"ඒ වචන ටික සංගාගේ ඔළුවේ ලොකු පෙරළියක් ඇති කළා.
සංගා කියන්නේ මෙන්න මේ වගේ කතාවක්."අපි ක්‍රීඩකයෝ. අපි සෙල්ලම් කරනවා, අපිට හොඳට සල්ලි ලැබෙනවා, ආරක්ෂිත ජීවිතයක් තියෙනවා. ලාහෝර් වලදී මිනිත්තු 2ක පොඩි වෙඩි හුවමාරුවකට මැදිවෙලා තුවාල වුණාම ලෝකෙම අපිව වීරයෝ කළා.
හැබැයි අපේ රටේ අවුරුදු 30ක් පුරාම බෝම්බ, වෙඩි උණ්ඩ එක්ක ජීවිතේ පරදුවට තියලා යුද්ධ කරපු අපේ සෙබළු සහ දුක්විඳපු මිනිස්සු ඉන්නවා. ඒ අය තමයි සැබෑම වීරයෝ... අපි නෙවෙයි..."
තමන්ගේ ඇඟේ තියෙන බෝම්බ කෑලි වලට වඩා, ලංකාවේ සැබෑ වීරයින්ගේ කැපවීම සංගාගේ හදවතේ ගැඹුරටම කාවැදිලා තියෙනවා කියන්නේ අන්න ඒ නිසයි!
සමාජ මාධ්‍ය ඇසුරෙන්...