වැඩ භාරගැනීමත් සමඟම X (ට්විටර්) ගිණුමේ "hello" යනුවෙන් ඔහු තැබූ ඉතා සරල සටහනක් මේ වන විට Views මිලියන 56ක් පසුකරමින් අන්තර්ජාලය පුරා ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතිනවා.
මෙම සටහන දුටු X හිමිකරු එලෝන් මස්ක් (Elon Musk) පවා "welcome" යනුවෙන් ඊට පිළිතුරු සපයා තිබූ අතර, ධවල මන්දිරයේ හිටපු කෘත්‍රිම බුද්ධි (AI) උපදේශක ශ්‍රීරාම් ක්‍රිෂ්ණන් ද ඔහු වෙනුවෙන් විශේෂ සටහනක් තබා තිබුණා.
50 හැවිරිදි ජෝන් ටර්නස් කියන්නේ වසර 25කට ආසන්න කාලයක් ඇපල් සමාගම වෙනුවෙන් කැපවූ දැවැන්ත චරිතයක්. 2001දී නිෂ්පාදන සැලසුම් කණ්ඩායමෙන් ඇපල් සමාගමට එකතු වූ ඔහු, iPhone, iPad, Mac, Apple Watch සහ AirPods නිර්මාණය කළ සුපිරි ඉංජිනේරු කණ්ඩායම් අධීක්ෂණය කළ ප්‍රධානියායි. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිධාරියෙකු වන ටර්නස්, ඇපල් එකට එන්න කලින් Virtual Research Systems සමාගමේ යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙසයි සේවය කර තිබෙන්නේ.
2011දී ස්ටීව් ජොබ්ස්ගෙන් පසුව පාලනය භාරගෙන ඇපල් සමාගම ඩොලර් ට්‍රිලියන ගණනක දැවැන්ත අධිරාජ්‍යයක් බවට පත්කළ ටිම් කුක්, අගෝස්තු මස අවසානයේදී තමා CEO ධුරයෙන් ඉවත් වන බව පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනය කළා. කෙසේවෙතත්, ටිම් කුක් ඉදිරියටත් ඇපල් සමාගමේ විධායක සභාපති ලෙස කටයුතු කරනු ඇති.
ජෝන් ටර්නස්ගේ මේ අලුත් ගමනත් එක්ක ඇපල් ලෝකයේ ඉදිරියට මොන වගේ පෙරළියක් වෙයිද කියලා මුළු ලෝකයම දැන් බලාගෙන ඉන්නවා.