අභ්‍යවකාශ ගමන්වලින් පස්සේ ගගනගාමීන්ගේ මොළයේ හැඩය වගේම පිහිටීමත් කාලයත් එක්ක වෙනස් වන බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා.
මේ පර්යේෂණයට අනුව අභ්‍යවකාශයට ගිහින් ආපු අයගේ මොළය හිස්කබල ඇතුළේ ඉහළට සහ පසුපසට විතැන් වෙනවා. විශේෂයෙන්ම මොළයේ සංවේදක සහ චලන කලාපවල (Sensory and Motor areas) ලොකු වෙනස්කම් සිදුවන බවයි වාර්තා වෙන්නේ. සඳුදා දින 'Proceedings of the National Academy of Sciences' සඟරාවේ පළ වූ වාර්තාවකට අනුව, මොළයේ ඉහළ සහ පහළ කොටස් අතර විවිධ විකෘති වීම් සිදුවන බව ද සඳහන්.
ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රේචල් සෙයිඩ්ලර් ඇතුළු පිරිස විසින් ගගනගාමීන් 26 දෙනෙකුගේ MRI ස්කෑන් පරීක්ෂණ නිරීක්ෂණය කර තිබෙනවා. එම ප්‍රතිඵල පෘථිවියේ දී දීර්ඝ කාලයක් හිස පහත් කර ඇඳක් මත වැතිර සිටි සිවිල් වැසියන් 24 දෙනෙකුගේ පරීක්ෂණ සමඟ සංසන්දනය කර තිබෙනවා. එහිදී හෙළි වුණේ සාමාන්‍ය මිනිසුන්ට වඩා ගගනගාමීන්ගේ මොළයේ ඉහළට විතැන් වීම ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.
අභ්‍යවකාශයේ ගත කරන කාලය වැඩි වෙන තරමට මේ වෙනස්කම් ද වැඩි වෙනවලු. සති දෙකක් වැනි කෙටි කාලයක් සිටි අය තුළත් යම් වෙනස්කම් ඇති වුවත්, වසරක් සිටි අයගේ වැඩිම වෙනස්කම් දක්නට ලැබී තිබෙනවා.
පෘථිවියට පැමිණ මාස හයකට පසු මේ විකෘති වීම් බොහොමයක් යථා තත්ත්වයට පත් වුණත්, සමහර වෙනස්කම් දිගටම පවතින බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. මේ නිසා ඉදිරි ආරක්ෂිත අභ්‍යවකාශ ගවේෂණ සඳහා මිනිස් සෞඛ්‍යයට ඇති වන බලපෑම ගැන තවදුරටත් අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය රේචල් සෙයිඩ්ලර් වැඩිදුරටත් පවසා සිටිනවා.