ඒ විතරක් නෙවෙයි, කාලයක් තිස්සේ රෝගී ජීව්තවලට තම දෑතින් ප්‍රතිකාර කළ ඇයට මේ වගේ ඉරණම අත්වේවි කියා ඉසුරිට ආදරය කරන කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති.
මහනුවර ජාතික රෝහලේ සේවය කරමින් සිටි 37 හැවිරිදි හෙද නිලධාරිනියක තෙවැනි දරු ප්‍රසූතිය අතරතුර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ ඉසුරි නිදිෂානි දිසානායක නමැති හෙද නිලධාරිනියක වන අතර දරුවා කුසේ සිටියදීම ඇය අධි අවදානම් තත්ත්වයක පසුවන බවට වෛද්‍යවරු හඳුනාගෙන තිබිණා.
සිසේරියන් සැත්කමක් මගින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු සමත්ව තිබෙනවා.
මව ඉතා අවදානම් තත්ත්වයක පසුවීම නිසා සිසේරියන් සැත්කම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වී තිබෙන බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වුණා.
අනුරාධපුර රෝහලේ වසර ගණනාවක් සේවය කළ හෙද නිලධාරිනිය මෙයට තෙමසකට පමණ ඉහතදී මාරුවක් ලැබ මහනුවර ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ සායනයේ රාජකාරි සඳහා එක්ව තිබුණා.
දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු අනුරාධපුර රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී සිදු කළ ස්කෑන් පරීක්ෂාවකදී වැදෑමහ පිහිටීමේ යම් අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙන් හෙද නිලධාරිනියක දැඩි අවදානම් තත්ත්වයක පසුවන බව හඳුනාගෙන තිබූ බවට වාර්තා වුණා.
ඒ අනුව මහනුවර ජාතික රෝහලට මාරුවී පැමිණීමෙන් පසු ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරත්නගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගෙන තිබුණා.
මහනුවර ජාතික රෝහලේ සේවය කරමින් සිටියදී පසුගිය 10 වැනි දින ප්‍රසව වේදනා ඇතිවීමෙන් පසු ඇය සැමියා සමඟ ගොස් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව තිබූ බවටයි වාර්තා වන්නේ.
එදින විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු කිහිප දෙනකු ඇයව පරීක්ෂා කර බලා සිසේරියන් සැත්කමක් මගින් දරුවා පිටතට ගැනීමට තීරණය කර තිබූ අතර, ඇයට අධික රුධිර වහනයක් සිදුවීම නිසා ස්කෑන් පරීක්ෂණයකින් පසු කඩිනමින් සිසේරියන් සැත්කම කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබුණා.
ඒ අනුව සිසේරියන් සැත්කම මඟින් දරුවා පිටතට ගෙන ඇති වෙද්‍යවරුන් ඇයට, අධික රුධිර වහනය හේතුවෙන් ලේ පයින්ට් 12 ක් ලබා දී ඇතැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන හමුවේ පැවැති මරණ පරීක්ෂණයේ දී අනාවරණය විණි.
හෙද නිලධාරිනියගේ ජීවිතය බේරා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් සම්බන්ධ වී ඇතත් ඇගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබුණා.
මියගිය හෙද නිලධාරිනියට අවුරුදු 09 හා 05 වයස් වල පසුවන දරුවන් දෙදෙනෙකු සිටින අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය, මහාචාර්ය අමල් වැදිසිංහගේ උපදසේ මත විශේෂඥ අධිකරණ වෛද්‍ය චතුලා වික්‍රමසිංහ විසින් සිදු කරනු ලැබුවා.
පශ්චාත් මරණ පරීක්ෂණයට අදාල අවසන් වාර්තාව ලැබෙන තෙක් මරණ පරීක්ෂණය කල් තැබීමට හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන පියවර ගෙන තිබුණා.