ගන්දර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය බව කියන කපුවෙකුගේ බැංකු ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් කෝටි 33 ට අධික මුදලක් සංසරණය වී ඇති බව වත්කම් විමර්ශන කොට්ඨාසය අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා වෙත දැන්වුවා.
ගන්දර ප්‍රදේශයේ පදිංචි දිනේෂ් කුමාර නමැති පුද්ගලයෙක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරින් ඒ බව කියා සිටියා.
මෙම සැකකරු ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වා ඇති බව විමර්ශන වලින් අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
මෙම සැකකරුගේ ඇතැම් සහෝදරයන් ඇතුළු පවුලේ සමීපතයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා ඇති බවට ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.
නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් පසුගිය 16 දින අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා එම කොට්ඨාසය භාරයේ දින හතක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් ඒ බව අධිකරණයට දැන්වුවා.
සැකකාර පුද්ගලයා දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති නමුත් ඉන් මුදල් උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය නොවන බවත් ඔහුගේ ගිණුම්වල තිබෙන මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.
ඔහුගේ දේපළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරමින් පවතින බවත් මේ වන විට ඔහුට අයත් බහු දින යාත්‍රා 2 ක් ඇතුළු යාත්‍රා 4 තිබෙන බවට හෙළිවූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.
ඉකුත් දෙදහස් 2020 හා 2024 යන කාල වකවානුව තුළ ඔහුගේ ගිණුම්වලට කෝටි තිහකට අධික මුදලක් සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරන බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
සැකකාර කපුවා ඩුබායිහි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග දුරකථනයෙන් සබඳතා පවත්වා ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවද වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනකුද ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ලබන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එදිනට ඔවුන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.