පහළොස්වන සැකකාර ඉෂාරා සෙව්වන්දි හට පලා යාමට අධාර අනුබල දීම මත පසුගිය සතියේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් විවෘත අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය ඒ බව දන්වා සිටියා.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අනෙක් සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් බුස්ස බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළා.
සිද්ධියට අදාළ සැකකරුවන් නොවැම්බර් 7 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා එහිදි නියෝග කළා.
ඒ අනුව නඩුව කැඳ වූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරියා විමර්ශන පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදුකළා.
විමර්ශන නිලධාරියා පැවසූවේ , පහලොස්වන සැකකාර ඉෂාරා සෙව්වන්දි යන අයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව අනාවරණය කර ගත් කරුණු මත විමර්ශන සිදුකරමින් පවතින බවයි.
ඒ අනුව සැකකාර ඉෂාරා සෙව්වන්දි යන අයගෙන් සටහන් කර ගත් ප්‍රකාශ අනුව හත්වන සැකකරුගේ නිවසේ වත්තේ වල දමා තිබූ ජංගම දුරකථන දෙකක් සොයා ගත් බවත් එම දුකරථනයන් සම්බන්ධව ඉදිරි විමර්ශන මේ වනවිට සිදුකරමින් පවතින බවත් විමර්ශන නිළධාරියා අධිකරණයට දන්වා සිටියා.
23, 24, 25, 26 යන සැකකරුවන් සැකකාර ඉෂාරා සෙව්වන්දි හට පලා යාමට සහය දී ඇති බවට විමර්ශන තුළින් කරුණු අනාවරණය වී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිළධාරියා කරුණු දක්වමින් පැවසූවා.
ඔහු පැවසූවේ, රෝහල් සේවිකාවක් ලෙස කටයුතු කළ 23 වන සැකකාරිය වන දොන් ප්‍රියංගා යන අය ඉෂාර සෙව්වන්දිව ඇයගේ යතුරු පැදියෙන් ඇයගේ නිවසට රැගෙව ඇවිත් තිබෙන බවයි.
ඉෂාරා සෙව්වන්දිව එම නිවසට රැගෙන යන අවස්ථාවේ 24 වන සැකකාර පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ සමෝද යන අය එම නිවසේ සිටි ඇති බව පැවසූ විමර්ශන නිලධාරියා කියා සිටියේ රජයේ නිළධාරියෙක් ලෙස ඔහු විසින් අදාල සැකකාරිය ගැන තොරතුරු විමර්ශන නිළධාරින් ලබා දීමට කටයුතු කර නැති බවයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා හිතා මතා තොරතුරු ලබා දීමට කටයුතු නොකිරීම තුළින් ඉෂාරා සෙව්වන්දි හට පලා යෑමට අධාර අනුබල දී ඇති බව විමර්ශන නිළධාරියා අධිකරණයට පවසා සිටියා.
23 වන සැකකාරියගේ නිවසේ ඉෂාරා සෙව්වන්දි යන අය එක් දිනයක් පමණත් රැඳී සිට ඇති බවත් පසුව 25 වන සැකකාර ව්‍යාපාරිකයකු වන සජිත් දිනූෂ යන අය වැලිපැන්න ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දින 52 කාලයක් සැකකාර ඉෂාරා සෙව්වවන්දි රඳවා තබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් විමර්ශන නිළධාරියා අධිකරණයට දන්වා සිටියා.
පසුව 26වන සැකකාරිය වන රේණුකා ශාන්ති සහ ඇයගේ ස්වාමියා වන 27 සැකකරු ආනන්ද උපාලි යන අය මොටර් රථයකින් ඉෂාරා සෙව්වන්දිව මාතර ප්‍රදේශයට රැගන ගොස් පසුව මිද්දෙණිය ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේ රඳවා තබාගෙන ඇති බවද විමර්ශන නිළධාරීන් අධිකරණයට අණාවරණය කර සිටියා.
මෙම කටයුතු සඳහා ප්‍රබල පතාල සාමාජිකයකු වන මතුගම ශාන් විසින් මෙම මුදල් ලබා දී ඇති බවද විමර්ශන නිළධාරියා අධිකරණය හමුවේ හෙළි කළා.
ඉන්පසුව මෙම 26වන සැකකාරිය සහ 27 සැකකරු විසින් මොටර් රථයකින් ඉෂාරා සෙව්වන්දි යන අය මාන්කුලම් ප්‍රදේශයට රැගෙන ගොස් පසුව කිලිනොච්චියට ගොස් යාපනය හරහා පලා යාමට කටුයුතු සලස්වා දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිළධාරියා අධිකරණයට පවසා සිටියා.
27 වන සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඔහු මනුෂ්‍ය ඝාතන නඩුවකට අදාලව මේ වනවිට රක්ෂිත බන්ධනාගරයේ පසුවන බවත් ඉදිරි නඩු දින සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඔහු අධිකරණයට දැන්වූවා.
තවදුරටත් විමර්ශන සිදුවන බැවින් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන විමර්ශන නිළධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පහළොස්වන සැකකාර ඉෂාර සෙව්වන්දි හට පැන යාම ආධාර අනුබල දීම යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටින සැකකරුවන් සම්බන්ධව වෙන් වෙන් වශයෙන් දණ්ඩ නීතී සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කරමින් සැකකරුවන් නොවැම්බර් 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
මේ අතර සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි 7වන සැකකාර දමිත් අංජන නයනජිත් යන අය මහාධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ ඇප කොන්දේසි විවෘත අධිකරණය හමුවේ අද කියවා දුන් අතර ඇප කොන්දේසි සම්පූර්ණ කළ පසු සැකකරු ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා.
සැකකරු රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක්, දස ලක්ෂයක ශරීර ඇප තුනක් මත මහාධිකරණ විනිසුරුවරයා මුදා හැර ඇති අතර සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කර තිබෙනවා.