වයස අවුරුදු 20ත් 45ත් අතර වැඩිහිටියන් අතර පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය (Computer Vision Syndrome - CVS) හෙවත් අක්ෂි ආතතිය (Digital Eye Strain) ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.
මෙම තත්ත්වය, COVID-19 වසංගතය අතරතුර සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වූයේ නිවසේ සිට වැඩ කිරීමේ (Work From Home) සහ මාර්ගගතව අධ්‍යයනය කිරීමේ (Online Studying) ප්‍රවණතාව සමගයි.
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය (Consultant Coea Surgeon) කුසුම් රත්නායක සඳහන් කළේ, පරිගණක, ජංගම දුරකථන සහ අනෙකුත් ඩිජිටල් උපාංග දිගු වේලාවක් භාවිත කිරීම මෙයට ප්‍රධාන හේතුව බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවති උත්සවයකදීයි.
රෝග ලක්ෂණ ලෙස ඇස් අපහසුතාව, බොඳ වී පෙනීම, හිසරදය, තෙහෙට්ටුව සහ ඇස් වියළීම ඇතුළත්.
එමෙන්ම දුර්වල ආලෝකය, ඩිජිටල් තිරයේ ඇති දීප්තිය හෝ නිවැරදි නොකළ පෙනීමේ ගැටළු මගින් තත්ත්වය වඩාත් නරක අතට හැරිය හැකියි.
දීර්ඝ සහ අධීක්ෂණයකින් තොර තිර භාවිතය හේතුවෙන් ළමයින් ද වැඩි වශයෙන් අවදානමට ලක්ව ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.
වෛද්‍යවරයා අවධාරණය කළේ, බොහෝ දරුවන් දෙමාපියන්ගේ අධීක්ෂණයකින් තොරව ඩිජිටල් තිර ඉදිරියේ අධික කාලයක් ගත කරන බවයි.
මෙම තත්ත්වයෙන් වැළැක්වීම හෝ කළමනාකරණය කිරීම සඳහා නිතිපතා අක්ෂි පරීක්ෂණ සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥයින් නිර්දේශ කරනවා.
නිසි මොනිටර ස්ථානගත කිරීම, දීප්තිය අඩු කිරීම, තිරයේ දීප්තිය සකස් කිරීම සහ තිරය ඇස්වලින් සැලකිය යුතු දුරින් තබා ගැනීමටයි ඔවුන් උපදෙස් දෙන්නේ.
මීට අමතරව, සෑම මිනිත්තු 20කට වරක් අඩි 20ක් දුරින් ඇති වස්තුවක් දෙස තත්පර 20ක් බලා සිටීම, නිතර ඇසිපිය හෙළීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ නිවැරදි ඉරියව් පවත්වා ගැනීමද නිර්දේශ කෙරෙනවා.
වියළි බව වැළැක්වීම සඳහා පරිගණක සඳහාම වෙන් වූ කණ්ණාඩි පැළඳීම සහ අක්ෂි තෙතෙමනය සඳහාවන බෙහෙත් (lubricating eye drops) භාවිත කිරීමටයි අක්ෂි විශේෂඥයින් යෝජනා කරන්නේ.