මේ අතර වෙඩික්කරුවන් සොයා අදත් ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත්, තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර, ඔහුගේ නිල කාමරය තුළදීම වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් 22වැනිදායි.
වැලිගම ප්‍රාදේශීය සභා මහජන දිනය යෙදී තිබූ එදින සභාපතිවරයා හමුවීමට පැමිණි අයෙකු එම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබුණා.
වෙඩි ප්‍රහාරයට ලක් වූ සභාපතිවරයා මාතර මහ රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඝාතනයට ලක් වූ සභාපතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර සෙනවිරත්න මහතා විසින් සිදු කළා.
එහිදී තහවුරු වී ඇත්තේ ප්‍රාදේශිය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ මරණය ගිනි අවියකින් කළ වෙඩි තැබීමකින් ඔහුගේ හිසට සහ පපුවේ අභ්‍යන්තර අවයව වලට හානි වීම නිසා සිදු වූවක් බවටයි.
සභාපතිවරයාගේ හිසේ මූනිස්සම් 03ක් සහ පපුවේ තිබී මූනිස්සම් 03ක් හමු වී ඇති අතර ඒවා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා ඇතුළු නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිදුව ඇති එම මාරාන්තික තුවාල හේතුවෙන් ඔහුගේ මරණය එම ස්ථානයේදීම සිදු වන්නට ඇති බවට සැක කරන බවටයි ඒ මහතා පොලිස් නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුවන් මාතර දෙසට පලාගොස් ඉන් එක් අයෙකු අතරමගදී වෙනත් යතුරු පැදියකට මාරු වී ඇති බවත් එලෙස යතුරු පැදි දෙකකට මාරු වූ සැකකරුවන් නූපේ හන්දියේ සිට අකුරැස්ස දක්වා පැමිණ ගාල්ල දෙසට පළා ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වූ අතර ඒ අනුව අද දිනයේත් ප්‍රදේශ රැසක / සැකකුරවන් පලා ගිය මාර්ගයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.
මේ අතර ඝාතනයට ලක්වූ සභාපතිවරයා තම ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත පසුගිය අගෝස්තු 29 වැනිදා ලිපියක් සහ දිවුරුම් ප්‍රකාශයක් යොමු කර ඇති අතර එමගින් අනාවරණ වී ඇත්තේ රොටුඹ අමිල, කංජිපානි ඉම්රාන් සහ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු තවත් සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ඔහුට මරණ තර්ජණ එල්ල වී ඇති බවටයි
මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වී ජීවිතක්ෂයට පත් වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් බොහෝ පිරිසක් පැමිණ සිටියා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා පස්වරුවේ අහංගම පවුලේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.