මෙම ජයත් සමග ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගත්තේ තරග 2ට බින්දුවක් ලෙසටයි.
පැතුම් නිස්සංකගේ විශිෂ්ඨ ක්‍රීඩා කෞශල්‍යය ගැන සිම්බාබ්වේ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ සිකන්ද රාසා සිය අවංක අදහස ප්‍රකාශ කරලා තිබුණා...
ඔහු පැතුම් ගැන කිව්වේ මේ වගේ කතාවක්...
" තරගාවලිය පුරාවටම අපේ ලොකුම ප්ලෑන් එක උනේ පැතුම්ගේ කඩුල්ල මුලින්ම දවාගන්න එක ,ඒත් අවාසනාවකට අපිට ඒක කරන්න බැරි වුණා. මේ තරඟාවලිය අපෙන් ගිලිහෙන්න ලොකුම හේතුව උනේ පැතුම්...ඔහු තරගාවලිය පුරාවටම හොඳින් සෙල්ලම් කළා..."
මේ තරගාවලිය පුරාවටම පැතුම් දැක්වූ දක්ෂතාවය හැමෝම අගය කරනවා ...
තරගය පැවැත්වුණේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් නුවනිඳු ප්‍රනාන්දු කැඳවා තිබුණේ ආබාධයකට ලක් වූ නිෂාන් මධුෂ්ක වෙනුවටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී 277ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පීඩනය එල්ල කළා.
ඒ අතරවාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් පහසු උඩපන්දු කිහිපයක්ම ගිලිහි ගියේ මෙලෙසින්.
මෙම තරගයේදීත් ලකුණු අතරට පිවිසුණු බෙන් කරන් ලකුණු 79ක් සහ සිකන්දර් රාසා නොදැවී ලකුණු 59ක් රැස්කළා.
දුෂ්මන්ත චමීර ලකුණු 52කට කඩුලු 3ක් බිඳ දමද්දී අසිත ප්‍රනාන්දු ලකුණු 67කට කඩුලු 2ක් දවා ගත්තා.
මේ අතර ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග මුදලින් 5%ක දඩයක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් අද තරගයේදීත් චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අඩු පන්දුවාර වේගයක් රඳවා ගෙන තිබීමත් කැපී පෙනුණා.
ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සමඟින් නුවනිඳු ප්‍රනාන්දුයි.
නුවනිඳුගේ ඉනිම ලකුණු 14කට සීමා වෙද්දී, අනතුරුව පිටියට පිවිසුණු කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 5කට සීමා වුණා.
බිඳ වැටෙමින් තිබුණු ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක් ගස්සන්නට පැතුම් සහ සදීර සමරවික්‍රමට හැකියාව ලැබුණේ තෙවැනි කඩුල්ලට ලකුණු 78ක් එක් කරමින්.
සදීර සමරවික්‍රම ලකුණු 31ක් රැස්කළා.
අනතුරුව සිව්වැනි කඩුල්ලට වටිනා ලකුණු 90ක සබඳතාවක් ගොඩනැගු නායක චරිත් අසලංක සහ පැතුම් ශ්‍රී ලංකා ජයමාවත විවර කරන්නට සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් සිය 7 වැනි එක්දින ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක ලකුණු 122ක් රැස්කළේ අලංකාර වූ හතරේ පහර 16කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.
මෙම සුපිරි ශතකයත් සමග පැතුම් සිය එක්දින දිවියට පා තැබූ 2021 වසරේ මාර්තු 10 වැනිදා සිට ආරම්භක පිතිකරුවෙකු ලෙස ලොව වැඩිම එක්දින ලකුණු ලාභින් අතර පෙරමුණ ගන්නට ද සමත් වුණා.
ඒ ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල් අහිබවා යමින්.
පැතුම් මේ වන විට එක්දින තරග 71කදී ලකුණු 2,746ක් රැස්කර ගෙන සිටින අතර ඔහු සිය එක්දින දිවිය ශතක 7කින් වගේම ද්විත්ව ශතකයකින් ද වර්ණවත් කර ගන්නට සමත් වී තිබෙනවා.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 71ක් රැස්කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ලකුණු 278ක් ලබා තරගය ජය ගත්තා.
තරගයේ සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමිවුණේ පැතුම් නිස්සංකටයි.
මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විදෙස් රටකදී එක්දින තරගාවලියක් වසර 6කට පසුව ජය ගැනීමත් කැපී පෙනෙනවා.
අවසන් වරට ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටතදී එක්දින තරගාවලියක් ජය ගෙන තිබුණේ 2019 වසරේ ස්කොට්ලන්තයට එරෙහිවයි.