අවුරුදු කෑම අතර සිංහල අච්චාරු වලට හිමි වෙන්නේ සුවිශේෂී තැනක්...
සමහර අයට අච්චාරු නැතුවම බැහැ.. ඉස්සර ගෙවල්වල අවුරුදු කිට්ටුවෙනකොට අච්චාරු මුට්ටියක් හදන එක සිරිතක් වෙලා තිබුණා... ඉතිං අද මේ කියලා දෙන්න හදන්නේ ඉතාමත් පහසුවෙන් අච්චාරුවක් හදාගන්න හැටි....
මෙන්න රෙසිපි එක...
රතු ලුණු 250g
කැරට් 2 (අඟල් 2 පමණ දිග කූරු වලට කපා ගන්න)
බෝංචි 5 (අවශ්‍යනම් )
මිරිස් කරල් 15ක් (වෙන් නොවන සේ දෙකට පලා ගත්)
කුඩා ගැට ගස්ලබු ගෙඩියක් (අඟල් 2 පමණ දිග කූරු වලට කපා ගත් ගන්න)
විනාකිරි කෝප්ප 1ක්
අබ කුඩු මේස හැඳි 1-2ක්
ලුණු
ඉඟුරු කැබැල්ලක් (අඟල 2 පමණ දිග)
සුදු ලුණු ගෙඩි 1ක්
කහ කුඩු ස්වල්පයක්
අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න. ඉන්පසු රතු ලුණු, කැරට්, බෝංචි, මිරිස් කරල් හා ගස්ලබු ටික වෙන වෙනම විනාකිරි වල දමා තප්පර 30 ක් පමණ වෙලාවක් තම්බා ගන්න.
ඉන්පසු කලින් අඹරා ගත් අබ හා ඉඟුරු මිශ්‍රණය විනාකිරි භාජනයට දමා මිනිත්තු 2 ක් පමණ හොඳින් උයා ගන්න. දැන් විනාකිරි මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන කලින් සකස් කරන ලද එළවලු සියල්ල එක් කර හොඳින් කලවම් කර ගන්න.
ඉන්පසු හොඳින් වේලා ගත් පිරිසිදු විදුරු බෝතලයකට හෝ මැටි මුට්ටියක දමා කල් තබා ගත හැක.
මෙය හරිම රසයි වගේම හොද සුවදකුත් එනවා.
අච්චාරු සාදන විට මැටි හට්ටියක් භාවිතා කිරීම ඉතා වැදගත්ය. එලෙසම තෙත නැති පිරිසිදු හැන්දක් භාවිතා කළහොත් මෙය මාස 5-6 ක පමණ කාලයක් කල් තබා ගන්නත් පුළුවන්... ඉතිං අමතක නොකර අනිවාර්‍යෙන්ම මැටි හට්ටියක අච්චාරු හදන්න... ඒ වගේම මේ විදිහට අච්චාරු හදලා තෑගී දෙන්නත් පුළුවන්.. අවුරුදු වලට නෑගෙවල් වලට අරගෙන යන දේවල් අතර රසවත් අච්චාරු බඳුනකුත් අරගෙන යන්න පුළුවන්...