තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මේ බව සදහන් කළා.
තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහල මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙකේ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිතයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් අපනයනය කෙරෙන අතර තැඹිලි අපනයනය කිරීමෙන් 2022 දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1500 සිට 2000 දක්වා මුදලකට බවයි.
ලංකාවේ තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරඟයක් එල්ල වී නැතැයි ද දැන් තරගය පවතින්නේ ලංකාවේ ව්‍යාපාරිකයන් අතර යැයිද අමාත්‍යවරයා කීය.