මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් වම් අත කපා දමන්නට සිදු වූ බව කියන ඩබ්ලිව්. කේ අචලා ප්‍රියදර්ශනී අද නීතිඥවරියක් ලෙස කටයුතු කරනවා.
ඇය පිළිබඳ කතාව යළි කරලියට පැමිනෙන්නේ ඇය ගොනු කළ වන්දි නඩුවක් හේතුවෙන්.
2013 ජනවාරි මස 17 වැනිදා නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන් රෝහල් ගත කළ තමා පිළිබඳව වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය නිසි සැලකිල්ලකින් ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් තමාගේ වම් අත වැලමිටට ඉහළින් කපා දැමීම නිසා තමන්ට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි 10ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලමින් ඇය මෙම නඩුව පවරා තිබෙනවා.
අචලා ප්‍රියදර්ශනී විසින් පවරා ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර මහ රෝහලේ හිටපු අධ්‍යක්ෂ දිල්කා සමරසිංහ , කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ , සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල , සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුදර්මා කරුණාරත්න යන අය නම් කරනු ලැබ සිටිනවා.
මෙම නඩුව විභාගයට ගැනීමේදී එම සිද්ධියට මුහුණ දුන් ඇය මෙලස අදහස් දක්වා තිබෙනවා"
"මා පදිංචිව සිටින්නේ ඌරුබොක්ක හීගොඩ බොරළුහේන අංක 17/ඒ/2 දරන නිවසේ. ඒ අපේ මහගෙදර. අපේ ගේ ආසන්නයේම වගේ මගේ අයියාගේ ගෙදරත් තිබෙනවා.
අපේ ගෙදරටත් අයියාගේ ගෙදරත් අතර පඩිපෙළක් තිබෙනවා. 2013 ජනවාරි මස 17 වැනිදා හවස් වරුවේ මා එම පඩිපෙළ බැසගෙන එනවිට පඩිපෙළේ පඩි 5ක් වගේ උසක ඉඳලා මා බිමට වැටුනා.
මා බිමට වැටෙන විට මගේ වම් අත බිමට තිබ්බා.
මගේ අතින් මහත් වේදනාවක් දැනුනා. ඒ නිසා මාව හීගොඩ රෝහලට රැගෙන ගියා.
2013 ජනවාරි මස 17 වැනිදාට පෙර මා කිසිඳු අසනීපයකින් තොරව ඉතා නිරෝගී ලෙස ජීවත් වුණා. හීගොඩ රෝහලේ වෛද්‍යවරුන් මාව පරික්ෂා කළා.
මා මහත් වේදනාවකින් හිටියේ ඒ නිසා ඒ වෛද්‍යවරුන් මට වේදනා නාශක එන්නත් කළා.
පිටගැස්මට එනනත් දුන්නා. එම වෛද්‍යවරුන් මාගේ වම් අතේ දෙපැත්තට ලී පතුරු දෙකක් තියලා වෙළුම් පටි යෙදුවා.
පසුව රෝහලේ ගිලන් රථයෙන් මාව ඒ වෙලාවෙම මාතර මහ රෝහලට යැව්වා. මාතර මහ රෝහලේ නිලධාරින් මාව කොළඹ ජාතික රෝහලට යැව්වා". යනුවෙනුයි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ජී.ජී අරුල් ප්‍රගාසම්ගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා පෙනී සිටියා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වාගේ මෙහෙයවීම යටතේ ජාතික රෝහලේ ලේඛන භාර නිලධාරිනී චම්පා මාලනී ආරියරත්න විසින් අචලා ප්‍රියදර්ශනී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීම ඇතුළු වෛද්‍ය ලේඛන 101ක් අධිකරණය හමුවේ ලකුණු කරනු ලැබුවා.
ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා අධිකරණය අමතමින් මෙම ලේඛන අදාළ ගාස්තුවලට යටත්ව පැමිණිල්ලට ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් දිසා විනිසුරුවරයා නියමිත ගාස්තු මත අදාළ ලේඛනවල සහතික පිටපත් පැමිණිලි පාර්ශවයට ලබාදෙන ලෙස නියම කළ අතර වැඩිදුර විභාගය සඳහා නඩුව කල් තැබුණා.
කෙසේ වෙතත් මේ සියලු සිදුවීම් මැද සිය පෙම්වතා වූ ප්‍රදීප් කුමාර සමග ඇය යුග දිවියට පිවිසියා.