"උඹට එක එක සම්බන්ධකම් තියනවා කියලා ආරංචියි. මාව නරක මිනිහා කරන්න එපා"
"මං මලත් උඹට දික්කසාදෙ දෙන්නෙ නැහැ. උඹ මාව දාල දරුවත් අරන් රට පැන්නා"
"ෆිනෝසා ජීවත්වෙලා ඉන්න එක මට මහ හිසරදයක්"
මීට අවුරුදු හත අටකට උඩදී මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පල්ලිය ඉදිරිපිට මුස්ලිම් කොල්ලෙකු කැඳ වික්කේය. මේ කැඳ කොල්ලා නමින් ඉම්රාන් විය. කැඳ විකිණූ නිසා මොහු කන්චිපාන ඉම්රාන් ලෙස මාලිගාවත්තේ කා අතරත් ප්‍රසිද්ධව සිටියේය. (කන්චිපාන යනු මුස්ලිම් භාෂාවෙන් කැඳ පානයයි.)
එකල මාලිගාවත්තේ මුස්ලිම් පාතාලය අති බිහිසුණු විය. ෆාජි අයුබ් ඛාන්, බයියා, මංජල් අක්‍රම්, මාමස්මී, ආනමාළු ඉමිටියාස් වැනි මිනීමරුවන් මෙන්ම මහා පරිමාන කුඩුකාරයන් මාලිගාවත්ත පාතාලය පාලනය කළහ.
මාලිගාවත්තේ මිනිස් ඝාතන සාමාන්‍ය සිද්ධියක් බවට පත් වූ කාලයක් තිබුණේය. මාලිගාවත්ත පාතාලයේ නඩු ඇසුවේය. වැරැදිකාරයන්ට දඬුවම් ලබා දුන්නේය. කොටින්ම මාලිගාවත්ත යනු වෙනම රාජධානියක් ලෙස පාතාලය විසින් පාලනය කළහ. මේ පාතාල මැරයන්ගේ අණසකට පිටින් මාලිගාවත්තේ කිසිවක් කළ නොහැකි විය.