වවුනියාව - ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයේ ගමන්කල පුද්ගලයන් අටදෙනාගෙන් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබන්නේ වව්නියාව දිස්ත්‍රික් මහරෝහලෙයි.
අද උදෑසන 10.30 ට පමණ යාපනය සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය වව්නියාව - ඕමන්ත - පන්ද්‍රින්කේන්ද්‍රකුලම්ප්‍රදේශය පසුකරමින් සිටියදී කෝවිල වීදිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය ඔස්සේ මෙම මෝටර් රථය ගමන්කිරීමට උත්සහ කර තිබෙනවා.
ඒ සමගම මෝටර් රථයේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති අතර එහි ඉදිරිපස ගමන්කරමින් සිටි පිරිමි පුද්ගලයෙකු, ඔහුගේ දියණිය, පුතණුවන් හා රියදුරු රථයෙන් ඉවතට පනින විටම දුම්රිය මෝටර් රථයේ ගැටී අනතුරට ලක්වුණා.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 250 ක් පමණ දුරකට ඇදීගොස් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති අතර එහි පසුපස අසුනේ ගමන්කල කාන්තාවන් සිව්දෙනෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ යාපනය - ඩෙල්ෆ් දූපත්හී පදිංචි 30 හැවිරිදි කමලනාදන් ශිවරංජනා, 32 හැවිරිදි කාන්දීපන් යමුනා රංජනා, 13 හැවිරිදි කාන්දීපන් දිසාලනී හා 56 හැවිරිදි ඉසෙයි ඥාණවතී යෝගරත්නම් නැමැති කාන්තාවන් සිව්දෙනෙක්.
සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ රියදුරු හා තවත් පුද්ගලයෙකු වව්නියාව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කෙරුණා.