Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
12
ලොව පුරා ප්‍රේමණීය හදවත් විරහවෙන් උමතු කළ සදා අමරණීය ප්‍රේම වෘත්තාන්තය "දේව්දාස්" චිත්‍රපටයට අදට වසර විස්සක්...

- ලොව පුරා ප්‍රේමණීය හදවත් විරහවෙන් උමතු කළ සදා අමරණීය ප්‍රේම වෘත්තාන්තය "දේව්දාස්" චිත්‍රපටයට අදට වසර විස්සක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

ලොව පුරා බොලිවුඩ් රසිකයන්ගේ ප්‍රේමණීය හදවත් ළතැවුලෙන් මුසපත් කළ සදා අමරණීය ප්‍රේමණීය වෘත්තාන්තය "දේව්දාස්" චිත්‍රපටයට අදට (ජුලි 12) වසර විස්සක් සපිරේ. 2002 වසරේ ජුලි මස 12 වැනිදා තිරගත කළ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ශාරුක් ඛාන්, අයිශ්වර්යා රායි, මධුරි ඩික්සිත් ඇතුළු බොලිවුඩයේ සුපිරි තරු රැසක් රංගනයෙන් දායක වෙන දේව්දාස් සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්ථා පිට වාර්ථා තැබූ සිනමාපටයකි.


දේව්දාස් 2002 ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උලෙළේදී 2002 මැයි 23 දින තිරගත වූ අතර එම වසරේ ජූලි 12 දින ලොව පුරා තිරගත විය. එය රුපියල් මිලියන 500 (ඇමරිකානු ඩොලර් මිලියන 10.29) පිරිවැයක් සහිතව එවකට නිපදවූ වඩාත්ම මිල අධික ඉන්දියානු චිත්‍රපටය විය. ලොව පුරා ති‍රගත කිරීමෙන් දළ වශයෙන් රුපියල් බිලියන 1.68 (ඩොලර් මිලියන 35) උපයා ගනිමින් වසරේ වැඩිම ආදායමක් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටය ලෙස දේව්දාස් නම් විය. එය ජාතික චිත්‍රපට සම්මාන පහක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන එකොළහක් ඇතුළුව සම්මාන කිහිපයක් දිනා ගත්තේය. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය (බන්සාලි), හොඳම නළුවා (ඛාන්), හොඳම නිළිය (රායි), සහ හොඳම සහය නිළිය (ඩික්සිත්) සඳහා කුසලාන ඇතුළත් වේ. එය හොඳම චිත්‍රපටය සඳහා වන BAFTA සම්මානය සඳහා ද නිර්දේශ විය. මේ දේව්දාස් චිත්‍රපටය වෙනුවෙන් සම්පාදනය කළ ලිපියකි.

පටු මාවතක් ඔස්සේ දිව යන අස් රියක් ලුහුබඳින කුඩා දැරියකි. වේගවත් අස් රිය හඹා යාමට නොහැකි වූ ඇගේ දෙපාවලට සමච්චල් කරමින් අස් රියෙන් නැගුණු ධූලි වළාවන්ගෙන් වැසී ගිය ඇය හඬමින් මාවතට වී ඔහු රැගත් රිය නොපෙනී යන තුරුම බලා සිටියා ය. එදා ඇයගේ නෙතෙහි ඔහු උදෙසා නැගුණු කඳුළු තම ජීවිතය පුරාවටම ඔහු වෙනුවෙන් හෙළීමට සිදුවනු ඇතැයි ඇය සිහිනෙනුදු නොසිතන්නට ඇත. ඒ ඔහු සහ ඇය අන් කිසිවෙකුත් නොව ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යය ශූරීන්ගේ පන්හිඳෙන් පණ ලද බෙංගාලි සාහිත්‍යයේ ද ඉන්දීය සිනමාව තුළ ද සොඳුරු දඩබ්බරයෙකු ලෙස නම් ලද “දේව්දාස්” සහ අවිහිංසකත්වයේ සහ ප්‍රේමයේ උල්පතක් වන් වූ ඔහුගේ ආදරණීය “පාරෝ” ය.

විප්‍රලම්භය විටෙක කෙනෙකුගේ ජීවිතය දවාලන මහා ගින්නක්ව බුර බුරා නැගී යන්නේ ධම්මපදයේ එන “ප්‍රේමතෝ ජායතී සෝකෝ” යන දහම් පාඨය සැබෑවක් වන බව ලෝකයට මැනවින් පසක් කරවමිනි. එලෙස විප්‍රලම්භයේ ගිනි දැල්වලට හසුව අළුවී ගිය සාහිත්‍ය ලෝකයේ චරිත අතර චට්ටෝපාධ්‍යගේ දේව්දාස්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

දේව්දාස් සැබැවින්ම සොඳුරු දඩබ්බරයෙකුම විය. එහෙත් ඔහු සිදු කළ සෑම දඩබ්බර ක්‍රියාවකටම යටින් කුඩා දරුවෙකුගේ ළාමකත්වය සැඟවී තිබුණි. සැබැවින්ම දේව්දාස් නම් සොඳුරු දඩබ්බරයා තුළ ප්‍රේමයට පිපාසිත කුඩා දරුවෙකු වන් ළාමක යෞවනයෙක් සදාකල්හිම සැඟවී සිටියේය. නමුත් අවාසනාවකට මෙන් නිසි අවස්ථාවේදී එය අවබෝධකරගැනීමට ඔහුට නොහැකි විය. අවසානයේ ඔහුගේ දිවිය එතරම් ඛේදාන්තයක් කරා එළඹීමට හේතුවූයේ ද ඔහු තුළ වූ එම නොවැටහීම යැයි මම විශ්වාස කරමි.

පාරෝ කුඩා අවධියේ සිටම ඔහුගේ ළබැඳි මිතුරිය මෙන්ම ළමා ප්‍රේමය ද වූවාය. නමුත් ඔවුන් අතර ඉන් ඔබ්බට ගොස් වැඩුණු ආත්මීය සබඳතාවයක් විය.එය වඩාත් වර්ධනය වූයේ පාර්වතීගේ පාර්ශවයෙන් වුව ද දේව්දාගෙන් තොර පාරෝ කෙනෙක් ද පාරෝගෙන් තොර දේව්දාකෙනෙක් ද පිළිබඳව සිතිය නොහැකි තරමට ඒ ආත්මීය සබඳතාවය දැඩි විය. විටෙක ඔවුහු දබර කර ගත්හ. තවත් විටෙක දේව්දාස්ගේ හිරිහැරවලින් පීඩා විඳි පාරෝ ඒවා පිළිබඳව පැමිණිලිකරන බව පවසමින් දිවගිය ද ඇය කෙදිනක හෝ ඔහු පිළිබඳව කිසිවෙකුට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කළේ නැත. ඈ තුළ ඔහු කෙරෙහි වූ ප්‍රේමය ළමා වියේදී පවා එතරම්ම දැඩි විය. දේව්දාස් අධ්‍යාපනය නිම කොට කල්කටාවට ගොස් නැවත පැමිණෙන තුරුත්, විවාහ වී කුල ගෙයට පිවිසීමෙන් අනතුරුවත් පාරෝ ඔහු වෙනුවෙන් තම හදවත තුළ දල්වන ලද ප්‍රේමයේ පහන් සිල නිවී යාමට ඉඩ නොතැබුවාය. කාලයත් සමඟ වෙනස්වූවා නම් එසේ වෙනස් වූයේ ඒ හැඟීම්වල ප්‍රකාශනය සිදුවූ ස්වරූපය පමණි. ඇයගේ ප්‍රේම දෙවොලේ සදාකාලිකවම පිදුම් ලැබූ දෙවියා බවට පත්වූයේ ඇයගේ ආදරණීය දේව්දා පමණක්ම ය.

නමුත් ඔවුන්ගේ ළමා කල සිට පැවති එම නිකැළැල් ප්‍රේමණීය සබඳතාවය ඉන් ඔබ්බට ගොස් විවාහයක් දක්වා වර්ධනය කරගැනීමට කුල සිරිත් හා සමාජ සම්මතයන් හරස් විය. පාර්වතීගේ පාර්ශවයෙන් ඊට විරෝධතාවයක් එල්ල නොවූව ද දේව්දාස්ගේ පවුලේ අය ඊට දැඩි ලෙස විරුද්ධ විය. අවසානයේ අකමැත්තෙන් වුව ද තමාටත් වඩා වැඩිමහලු දරුවන් සිටින, තමාගේ වයසින් දෙගුණයකටත් වඩා වැඩි ඉඩම් හිමියෙකු සමඟ විවාහවීමට ළාබාල පාරෝට සිදුවෙයි. නමුත් ඇය අවසානය දක්වාම දේව්දාස් කෙරෙහි දල්වාගත් බලාපොරොත්තු අත් නොහැරියා ය. ඇයගේ විවාහය තීන්දු වීමෙන් පසුව ද මනෝරමා නම් මිතුරිය සමඟ මනාලයා පිළිබඳව කරන සාකච්ඡාවේදී ඇය සඳහන් කරන්නේ දේව්දාස් පිළිබඳවය. සියලු දරාගැනීම් කෙළවර ස්ත්‍රියක ලෙස තමා සතු අභිමානය සහ ආත්ම ගෞරවය ද සියලු කුල සිරිත් ද අමතක කරන ඇය දේව්දාස්ගේ පිහිට පතා ඔහුගේ කුටියට පවා යෑමට පෙළඹෙන්නීය. ඇය එලෙස ගොස් ඔහු කෙරෙහි ඇය තුළ වූ ප්‍රේමය පිළිබඳව හෙළිකරන අතර තමා රැගෙන යන ලෙස දේව්දාස්ට පවසන්නීය. එහිදී දේව්දාස්ගේ දෙකකුල් තෙමමින් ගලා හැලෙන පාරෝගේ පිවිතුරු ප්‍රේමයේ කඳුළු බිඳු ඔහුගේ ඇඳ ඇතිරිල්ල මත පැල්ලම් එක් කරන්නේ ඔහුගේ ජීවිතය තුළ ද පාරෝ පිළිබඳව මතකය නොමැකෙන කඳුළු පැල්ලමක් බවට පත්කරමිනි.

පාරෝගේ මේ හදිසි ආයාචනය හමුවේ දේව්දාස් වික්ෂිප්තභාවයට පත්වේ. එවකට විසි හැවිරිදි කෙළිලොල් යෞවනයෙකු වූ ඔහු කළ යුත්තේ කුමක්දැයි හරි හැටි අවබෝධකරගැනීමට නොහැකිව ලතවෙයි. මව්පියන්ගේ මුදලින් කෙළිලොල් ජීවිතයක් ගත්කරමින් සිටි ඔහුට විවාහය, ප්‍රේමය වැනි ගැඹුරු සබඳතාවයන් පිළිබඳව නිසි දැක්මක් හෝ වැටහීමක් නොවීය. එනිසා එම වික්ෂිප්තභාවයෙන් මිදීමට ඔහු පාරෝට ලිපියක් ලියා තබා යළි කල්කටා නගරයට පැමිණේ. ඔහුගේ ලිපිය කියවා ඔහු පිළිබඳව බලාපොරොත්තු අත්හැර ගන්නා පාරෝ අකමැත්තෙන් වුව ද විවාහයට හිත හදාගන්නී ය.

කල්කටාවට ගිය දේව්දාස්ට ජීවිතය පුරාවට තමාට අවැසි දේ පිළිබඳව නිසි වැටහීමක් ඇතිකරගැනීමට හැකිවන්නේ පාරෝගෙන් ඈත්වූ පසුව ය. ඔහු තුළ සැඟව සිටි ප්‍රේමයෙන් පිපාසිත ළාමක යෞවනයා අවදිවන්නේ මේ පසුබිම තුළය. පාරෝගෙන් තොරව දේව්දාට පැවැත්මක් නැති බව වටහාගන්නා ඔහු තමා කළ ක්‍රියාව පිළිබඳව පසුතැවිලි වෙමින් නැවත ඉක්මනින් ගමට පැමිණෙයි. නමුත් ඒ වන විට පාරෝගේ විවාහය උදෙසා සියලු කටයුතු සූදානම්කර හමාරය. ඇයව තනිව මුණගැසෙන ඔහු ඇයගෙන් සමාව අයදිමින් ඉල්ලා සිටින්නේ ඔහු සමඟ යාමට පැමිණෙන ලෙසය. නමුත් ස්ත්‍රියක ලෙස පාර්වතී සතු ආත්මාභිමානය දේව්දාට පෙම් කළ පාරෝ පරයමින් නැඟී සිටින්නේ තමා කළ ක්‍රියාව සඳහා ඔහුට නිසි දඬුවමක් ලබාදීමේ අරමුණ ද ඇතිව ය. එනිසා ඇය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නී ය. දේව්දාස් තුළ සැඟවී සිටි දඩබ්බරයා ඉස්මතු වන්නේ එම අවස්ථාවේදී ය. විවාහාභිමුඛව සිටි සුරූපී පාර්වතීගේ නළල තුවාලකිරීමට හදිසි කෝපයට පත් ඔහු පෙළඹෙන්නේ ඒ නිසාය. නමුත් ඒ සැණින්ම ඔහු තමා කළ ක්‍රියාව පිළිබඳව පසුතැවිලි වෙමින් පාරෝගේ සුවදුක් විමසන්නේ ඔහු තුළ ඇය කෙරෙහි වූ ප්‍රේමය නිසාවෙනි. එම තුවාල කැළල තමා පිළිබඳව මතකයක් ලෙස සැමදා ඇයගේ රුවැති මුහුණේ රැඳී තිබෙනු ඇතැයි ඔහු ඇයට පවසයි. එම හමුවීම අවසානයේ “ඔයා නැතුව ඔයාගෙ දේව්දාට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියල හිතනවද පාරෝ” යනුවෙන් ඔහු පාර්වතීගෙන් නඟන පැනය ජීවිතය පවතින තුරාවට ඔහුගේ මතකය සමඟ ඇයගේ සිත සසල කරන්නට සමත්වන්නට ඇතුවා නිසැක ය.

දේව්දාස් සැමදා පාර්වතී පිළිබඳව සිතුවේ ඇය තමාට අයත් වස්තුවක් ලෙස ය. කුඩා කල පටන් තමා වටා ඇලෙමින් ගැලෙමින් තිබූ ඒ සොඳුරු වස්තුව කාලයත් සමඟ කෙදිනක හෝ අහිමි වනු ඇතැයි ඔහු නොසිතුවේය. නමුත් පාරෝගේ විවාහයත් සමඟ ඒ සියල්ල තමාට අහිමිවන බව ඔහුට හැඟී ගියේය. ඉන් හටගත් විප්‍රයෝගයේ වේදනාකාරී හැඟීම්වලින් මිදෙනු වස් ඔහු මත්පැන්වල පිහිට පැතුවේය. කල්කටා නගරයට යන ඔහු මත්පැන්වලට ඇබ්බැහිවන්නේත්, මිතුරෙකුගේ ඇසුර නිසා ගණිකාවන් ඇසුරු කිරීමට ද පෙළඹෙන්නේ ය. ඔහු පිළිබඳව සිත් තැවුලෙන් ඔහුගේ පියා මිය යන අතර පවුලේ ධනයෙන් තමාට හිමිවන කොටස ද මත්පැන් උදෙසාම ඔහු වැය කරන්නේ ය. පවුලේ ධනයට ලොල්වන ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ සහ නෑනණ්ඩියගේ ක්‍රියාකලාපය ඔහුව තවදුරටත් පවුලෙන් මෙන්ම ඔහු උපන් ගමෙන් ද ඈත්කරවීමට හේතුවෙයි. පාරෝගෙන් තොරවූ තල්සොනාපූර් ගම්මානයක් පිළිබඳව ඔහුට සිතිය නොහැකි විය. ගම්මානයේ සෑම බිම් අඟලක් පාහේම පිරී තිබුණේ ඔවුන්ගේ සොඳුරු මතකයන්ගෙනි.

දේව්දාස්ට චන්ද්‍රමුඛී නම් සුරූපී ගණිකාව මුණගැසෙන්නේ මේ අතරතුර දී ය. චන්ද්‍රමුඛී ද මේ සොඳුරු දඩබ්බරයාට පෙම් බඳින්නේ ඔහු තුළ සැඟවී සිටින කුඩා දරුවෙකු මෙන් ලාමක ප්‍රේම පිපාසිතයා ඇය මැනවින් හඳුනාගන්නා බැවිනි. දේව්දාස්ගෙන් පෙරළා ප්‍රේමයක් අපේක්ෂා නොකරම ඇය ඔහුට ප්‍රේම කළා ය. ඔවුන් දෙදෙනා අතර වූ සබඳතාවය හුදු ප්‍රේම සබඳතාවයක් පමණක් නොවීය. එය දේව්දාස්ගේත් ඇයගේත් අධ්‍යාත්මයන්ට සුවය කැඳවූ සබඳතාවයක් විය. පෙම්වතියකට වඩා චන්ද්‍රමුඛී දේව්දාස් හට මවක මෙන්ම හොඳ යෙහෙළියක් ද වූවාය. පාරෝගේ වියෝවෙන් ඇතිවූ හිස් තැන මුළුමනින්ම පිරවීමටත්, ඒ නිසා ඇතිවූ වේදනාව සම්පූර්ණයෙන් සමනය කිරීමටත් චන්ද්‍රමුඛීගේ ආගමනය සමත් නොවූව ද ඇය දේව්දාස්ගේ ජීවිතයට සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ලකිරීමට මෙන්ම ආලෝකයක් ගෙනදීමට ද සමත්වූවා ය. වරක් දේව්දාස් “බිරිඳ” හැඳින්වීමට යොදාගන්නා බෙංගාලි වචනයෙන් ඇයට අමතන්නදැයි චන්ද්‍රමුඛීගෙන් විමසන්නේ එබැවිනි. ඇයගේ ආගමනය ඔහුගේ ජීවිතය තුළ කිසියම් ආලෝකයක් ඇති කළ බැවිනි. අධික බීමත්කම හේතුවෙන් වැළඳෙන සිරෝසිස් රෝගයෙන් ඔත්පලවන දේව්දාස්ව මවක මෙන් රැකබලාගන්නා ඇය ඔහුව මත්පැනින් මුදවාගැනීමට ද වෑයම් කරන්නී ය. ඔහුව රැකබලාගැනීමටත්, සුවපත්කර ගැනීමටත් කැපවන ඇය තම වෘත්තියට සහ නගරයේ ගත කළ සුඛෝපභෝගී දිවියට ද සමුදෙන්නීය. නමුත් අවාසනාවකට ඔහුව මත්පැනින් මුදවාගැනීමට මෙන්ම තමා වෙත රඳවාගැනීමට ද ඇය ඔහු වෙත පුද කළ ප්‍රේමය හෝ ඔහු වෙනුවෙන් කළ කැපකිරීම් සමත්වූයේ නැත.

මරණ මංචකයේදී ඔහු තම ආදරණීය පාරෝ වෙත පැමිණෙන්නට තීරණය කරන්නේ ඇය ඔහු කෙරෙහි වූ අප්‍රමාණ ප්‍රේමයෙන් ඔහුගේ ජීවිතයට එක් කළ ආලෝකය හේතුවෙනි. අවසාන මොහොතේදී පවා සිය ජීවිතය ප්‍රේමයෙන් ආලෝකවත් කළ ස්ත්‍රියගේ රූපකාය සිහින් සේයාවක්ව ඔහුගේ පියවී යන දෑස් අබිමුව මැවෙන්නේ ඇය කෙරෙහි උපන් අප්‍රමාණ ප්‍රේමයෙන් හා භක්තියකින් ද යුතුව ය. මෙහිදී චට්ටෝපාධ්‍යයන් අප්‍රමාණ මාතෘ ගුණයත්, යෙහෙළියක, පෙම්වතියක, බිරිඳක ලෙස ස්ත්‍රියක තුළ පවතින ප්‍රේමණීය සහ අද්විතීය ගුණ සම්භාරයත් මනාව එක් කැටිකොට පාරෝගේත්, චන්ද්‍රමුඛීගේත් චරිතයන් නිර්මාණය කර ඇත්තේ ඔවුන් දෙදෙනා පිළිබඳව අපූරු පහන් හැඟීම් මෙන්ම කිසියම් භක්තිය මුසු හැඟීමක් ද පාඨක සිතේ ජනිත කරවමිනි. සැබැවින්ම පාරෝගේත්, චන්ද්‍රමුඛීගේත් චරිතයන් වෙතින් හමා එන්නේ නොකිළිටි ස්ත්‍රීත්වයේ අපූර්ව ගුණ සුවඳම ය.

සිරෝසිස් රෝගයෙන් ඔත්පලවන දේව්දාස් සිය අවසාන මොහොතේදී තම දිවියේ ප්‍රථම මෙන්ම එකම ප්‍රේමය වූ පාරෝව දැක බලාගැනීමේ අරමුණින් යුතුව බොහෝ දුර ගෙවා ඇය විසූ ගම්මානයට පැමිණෙන නමුත් පාඨක නෙත් කඳුළින් පුරවාලමින් ඔහු සිය අවසන් හුස්ම හෙළන්නේ සිය ආදරණීය පාරෝගේ දර්ශන මාත්‍රයකුදු නොලබාම ය. කිසිදු සමීපතමයෙකු නොමැතිව අසරණයෙකු ලෙස ඔහු පාරෝගේ නිවස ආසන්නයේදීම මියයන්නේ බිඳුණු ප්‍රේමයකට මිනිසෙකුගේ ජීවිතයකට කොතරම් වේදනාබර, ඛේදනීය අවසානයක් ළඟාකරවීමට හැකි ද යන කරුණ ලොවටම පෙන්වාදෙමිනි.

ශරත්චන්ද්‍රයන් විසින් නිර්මිත මෙම අපූර්ව ප්‍රේම වෘතාන්තය බිඳුණු ප්‍රේමය පිළිබඳව ගැයෙන ළසෝ ගීයක් වන් වූ මනරම් ගද්‍ය කාව්‍යයක් වන අතර ඒ ඇසුරින් සංජේ ලීලා බන්සාලි විසින් නිර්මාණය කරන ලද දේව්දාස් සිනමාපටය ද ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයක්ගේ හදවත් සොරාගත්, බොලිවුඩ් සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වූ ඉතා වින්දනීය රූපමය කාව්‍යයක් ලෙස ද හඳුන්වාදීමට හැකිය. එය අපූරු ලෙස විප්‍රලම්භයේ ශෘංගාරය ද එයින් හටගන්නා ශෝකී රසය ද මනාව එක් කොට සියුම්ව වියන ලද ගෙත්තමක් බඳු ය. “දේව්දාස් හරහා නවකතාකරුවෙකු ලෙස ශරත්චන්ද්‍රයන් ද, සිනමාකරුවෙකු ලෙස සංජේ ලීලා බන්සාලි ද කලා ලෝකය තුළ තමන්ටම වෙන්වූ වූ ඉඩ පරාසයක් වෙන්කරගැනීමට සමත්වන්නේ ඔවුන් තුළ පවතින ඔවුන්ටම ආවේණික වූ මෙකී අද්විතීය නිර්මාණ ශක්තිය නිසාවෙන්ම ය.

දකුණු ආසියානු සිනමා ක්ෂේත්‍රය තුළ වැඩිම වාර ගණනක් රූපමය කාව්‍යයකට නැගී ඇති නවකතාවක් වන ශරත්චන්ද්‍රයන්ගේ “දේව්දාස්” නවකතාව මේ වන විට විවිධ භාෂාවන්ගෙන් 18 වාරයක් තරම් වැඩි වාර සංඛ්‍යාවක් සිනමාවට නැගී ඇත. එය ද ප්‍රේම වෘතාන්තයක් ලෙස “දේව්දාස්” සතු ජීව ගුණය මැනවින් ප්‍රකට කරවන්නකි. මින් පළමු චිත්‍රපටය 1928 නරේෂ් මිත්‍රා විසින් නිර්මාණය කරන ලද නිහඬ චිත්‍රපටයකි.

එතෙක් මෙතෙක් නිර්මාණය වූ දේව්දාස් චිත්‍රපට අතරින් වඩාත් ජනප්‍රියම සිනමා නිර්මාණ ද්විත්වය වන්නේ 1955 දී බිමල් රෝයි විසින් අධ්‍යක්ෂණය කරන ලදුව දිලිප් කුමාර්, වෛජයන්තිමාලා, සුචිත්‍රා සෙන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ දේව්දාස් චිත්‍රපටය සහ 2002 දී සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලදුව ශාරුක් ඛාන්, ඓශ්වර්‍යා රායි, මධුරි ඩික්සිත් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලද දේව්දාස් චිත්‍රපටය යි.

මෙම චිත්‍රපට ද්විත්වයම ආදායම් වාර්තා බිඳදමමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත් වී ඇති අතර ෆිල්ම් ෆෙයාර් සම්මාන රැසක් ද දිනාගෙන ඇත. 1955 තිරගත වූ දේව්දාස් බොලිවුඩ් සිනමාපටය එම වසරේ හොඳම නළුවා (දිලිප් කුමාර්), හොඳම සහය නිළිය (වෛජයන්තිමාලා), හොඳම සහය නළුවා (මෝතිලාල්) සම්මාන හිමිකරගෙන ඇති අතර 2002 වසරේ තිරගත වූ බන්සාලිගේ දේව්දාස් සිනමාපටය එම වසරේ හොඳම නළුවා (ශාරුක් ඛාන්), හොඳම නිළිය (ඓශ්වර්‍යා රායි), හොඳම සහය නිළිය (මධුරි ඩික්සිත්), හොඳම අධ්‍යක්ෂණය මෙන්ම වසරේ හොඳම සිනමාපටයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනාගෙන ඇත. බොලිවුඩයේ යුග දෙකක් නිරූපණය කළ ප්‍රේමණීය කුමරුවන් දෙදෙනෙකු වන, වැඩිම ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනක් හිමිකරගත් රංගන ශිල්පීන්ට හිමි වාර්තාවට උරුමකම් කියන දිලිප් කුමාර් සහ ශාරුක් ඛාන් සිය අද්විතීය රංගන කෞෂල්‍යය මැනවින් ප්‍රකට කළ, එමෙන්ම එකම චරිත නිරූපණයක් උදෙසා ෆිල්ම් ෆෙයාර් සම්මාන හිමිකරගත් අවස්ථාවක් ලෙස “දේව්දාස්” හඳුන්වාදීමට හැකිය.

ඉහත කී දේව්දාස් සිනමාපට ද්විත්වයම පිළිබඳව කතාකිරීමේදී එහි විශිෂ්ට සංගීත භාවිතාව පිළිබඳව කතා නොකරම බැරි ය. එම සිනමාපට ද්විත්වයේම සංගීතය සිනමාපටයේ සාර්ථකත්වය උදෙසා නොමඳ පිටිවහලක් වී ඇත. ඒවායේ අඩංගු ප්‍රේක්ෂක සිත් ඉතා තදින් ඇද බැඳ ගත් මියුරු ගීත එයට සාක්ෂි සපය යි. 1955 දේව්දාස් සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය සචින් දේව් බර්මන් (S.D.බර්මන්) ශූරීන් විසින් සිදුකර ඇති අතර 2002 දේව්දාස් සිනමාපටයේ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය මොන්ටි ශර්මා විසින් සිදුකර ඇති අතර ගීත සඳහා සංගීතය ඉස්මායිල් දර්බාර් සහ බිර්ජු මහරාජ් විසින් සපයනු ලැබ ඇත.

එවකට විශාලතම මුදලක් වැයකොට නිර්මාණය කරන ලද සිනමාපටයක් ලෙස සැලකෙන, 2002 වසරේ කෑන්ස් සිනමා උළෙලේදී එළිදක්වන ලද බන්සාලිගේ “දේව්දාස්” සිනමාපටය තුළ ඉතා විශිෂ්ට කැමරාකරණයක්, ආලෝකකරණයක්, පසුතල නිර්මාණයක් සහ රංග වස්ත්‍රාභරණ නිර්මාණයක් ද දැකගත හැකිය. ඒ තුළ දැකිය හැකි ප්‍රේක්ෂක මනසේ අමතක නොවන ලෙස රැඳී ඇති තවත් සුවිශේෂීම දෙයක් වන්නේ අපූර්වතම නර්තන වින්‍යාසයන් ය.

මේ වන විට ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියම නිර්මාණය වන්නේ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලදුව, ශාරුක් ඛාන් විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද 2002 වසරේදී එළිදක්වන ලද දේව්දාස් චිත්‍රපටයයි. නමුත් එම වෘතාන්තයට සිනමානුරූපී බවක් එක් කිරීමේ අරමුණින් එහි සිදුකර ඇති යම් යම් වෙනස්කම් ඇතැම්විට මුල් කෘතියේ චරිත සහ සිද්ධි තුළින් ඇතිකරන රසයට වෙනස් රසයක් මෙන්ම ඒවා පිළිබඳව වෙනස් හැඟීම් ද ජනිත කරවයි. ඇතැම් විට එය මුල් කෘතියේ එන චරිත සහ සිනමා කෘතියේ එන චරිත පිළිබඳව එකිනෙකට වෙනස්, ප්‍රතිවිරුද්ධ ආකල්ප සහ හැඟීම් ඇතිකරලීමට ද හේතුවෙයි. නමුත් එය සිනමා කෘතිය සහ සාහිත්‍ය කෘතිය වෙන වෙනම රසවින්දනය කිරීමේදී එයට බාධාවක් ඇති නොකරයි. සිනමා කෘතියක් ලෙස ඇගයීමට ලක් කිරීමේදී බන්සාලිගේ දේව්දාස් චිත්‍රපටය සැබැවින්ම බොහෝ කලාත්මක ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ අද්විතීය ගණයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස නොපැකිලව හඳුන්වාදිය හැකිය. එය ඒ තරමටම විචිත්‍ර මෙන්ම විශිෂ්ට නිර්මාණයකි. ඒ පිළිබඳව කතා දෙකක් අවශ්‍ය නැත. නමුත් එහි සිදුකර ඇති වෙනස්කිරීම් තුළින් මුල් කෘතියේ චරිත හා සිනමා කෘතියේ චරිත කෙරෙහි ඇතැම්විට සහෘදයා තුළ පරස්පරයන් සහිත ආකල්ප ඉස්මතුවීම නිසා එම චරිතයන් සැබෑ ලෙසම නිර්මාණය කළ මුල් කෘතියේ රචකයාටත්, මුල් කෘතියටත් කිසියම් අසාධාරණයක් සිදුවී ඇති බව මගේ පුද්ගලික මතයයි. සැබැවින්ම සිනමා කෘතිය දේව්දාස්, පාරෝ, චන්ද්‍රමුඛී අතර පැවති ප්‍රේමය පිළිබඳව අපූරු ෆැන්ටසියක් මවාලීමට සමත්වන අතර තථ්‍ය ලෝකයට වඩාත් සමීප වන්නේ සාහිත්‍ය කෘතියේ එන දේව්දාස්, පාරෝ සහ චන්ද්‍රමුඛී යැයි මට හැඟේ. මේ වන විට වත්මන් පරපුරේ බොහෝදෙනෙකු දේව්දාස් හඳුනාගෙන සිටින්නේ බන්සාලිගේ දේව්දාස් ලෙස මිස ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යයන්ගේ දේව්දාස් ලෙස නොවේ. එය සැබැවින්ම කණගාටුවට කරුණකි. සිනමා කෘතියේ ආලෝකයෙන් එම අද්විතීය චරිතය සැබෑ ලෙසම නිර්මාණය කළ අසහාය සාහිත්‍යකරුවාගේ ප්‍රතිරූපය වැසී ගිය අවස්ථාවක් ලෙස එය අපට හඳුනාගත හැකිය.

කෙසේ වුව ද දේව්දාස්, පාරෝ සහ චන්ද්‍රමුඛී ලොව ප්‍රේම කතා ඉතිහාසය තුළ අමරණීය චරිත බවට පත්වෙමින් දහස් ගණනක් වූ සහෘද හදවත් තුළ අදටත් ජීවත්වන්නේ ශරත්චන්ද්‍රයන් සහ සංජේ ලීලා බන්සාලි ඇතුළු සිනමාකරුවන් සිය නිර්මාණ හරහා කලාවේ අරමුණු ජයග්‍රහණය කිරීමට සමත්වී ඇති බව ලොවට ප්‍රකට කරවමිනි.

පිවිතුරු නිකැළැල් ප්‍රේමයකින් පිදුම් ලැබීම වනාහි දෛවය වෙතින් ලැබෙන්නා වූ අගනා තිළිණයකි. නමුත් එය රැකගැනීම සහ රඳවා තබාගැනීම ඔබ සතුව පවතින තෝරාගැනීමකි. දේව්දාස් නම් සොඳුරු දඩබ්බරයා ප්‍රමාද වී අවබෝධකරගත් සත්‍යය එයයි. නිසි වෙලාවේදී දේව්දාස් හෝ පාරෝ යන දෙදෙනාගෙන්ම එක් අයෙකු හෝ ආපසු හැරුණා නම් යැයි මට සිතී ඇති වාර ගණන අනන්ත ය. නොකිළිටි ප්‍රේමයකින් පිදුම් ලැබීමට තරම් දේව්දාස් වාසනාවන්ත විය. නමුත් එය රැකගැනීමට සහ තමා වෙත රඳවාගැනීමට ඔහු අපොහොසත් වූයේ ය. දේව්දාස්ලා මෙන්ම ඔවුන් වෙතින් ගිලිහී ගිය පාරෝලා සහ චන්ද්‍රමුඛීලා ද අදත් අප අතර ජීවත්වෙති. ඇතැම් විචාරකයන් පවසන පරිදි දේව්දාස්, පාරෝ චන්ද්‍රමුඛී පමණක් නොව ශ්‍රී කාන්ත, රාජ ලක්ෂ්මී වැනි චරිත ද නිර්මාණය කිරීම සඳහා චට්ටෝපාධ්‍යයන්ට අවැසි පිටුබලය ලැබී ඇත්තේ ද ඔහුගේම ජීවන අත්දැකීම් ඇසුරිනි.

බෙංගාලයේ ඈත කෙළවර වූ සුන්දර කුඩා ගම්මානයක් වන තල්සොනාපූර්හි මංමාවත්, ගං තීරයන්, ලඳු, දෙණි, වනපෙත් ඔස්සේ දේව්දාස්ගේත්, ඔහුගේ ආදරණීය පාරෝගෙත් මතක ඇහිඳින්නට මේ වන විට ගොස් නොමැති බොලිවුඩ් සිනමා රසිකයෙකු සොයාගැනීමට අපහසු තරම් ය. එමෙන්ම ජීවිතයේ කෙදිනක හෝ දේව්දාස් වැනි සොඳුරු දඩබ්බරයෙකු ඔබට මුණගැසුණහොත් ඔහුගේ ඉරණම වෙනුවෙන් දෙවියන් යදින ලෙස මම ද ඔබට ආයාචනය කරමි. ඒ මක්නිසාද යත් ශරත්චන්ද්‍රයන්ගේ දේව්දාස්ට උරුම වූ ඉරණම ඔහුට ද අත් නොවිය යුතු බැවිනි. ඔහුගේ අවසාන මොහොතේ ඔහු වෙනුවෙන් උපන් ළතෙත් බවින් හා ප්‍රේමයෙන් පිරුණු හදවතක් සහිත අයෙකුගේ අතකින් ඔහුගේ හිස පිරිමැදිය යුතු බැවිනි.

හංසිනී කවින්දි




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top