කෝටි දෙකක ජනතාවක් භේදයකින් තොරව මහ මඟට ඇද දමා තිබෙන සෙයකි. අධි වරප්‍රසාදිත දේශපාලන ගැත්තන් ඉතාම අතලොස්සක් හා එක් පවුලක් හැරුණු විට මුළු මහත් රටක්ම අන්ත අසරණය.
අත්තනෝමතික, අදූරදර්ශී, පිරිහුණු පාලනයක් විසින් දෙකෝටියක ජනතාවක් පාරට වීසිකර ඇති රටක ජීවත් වීමට නොහැකි දුප්පත් අම්මා කෙනෙක් තම දරුවා කැලණි ගඟට වීසිකර තමන්ද දිවි නසා ගැනීමට තැත් කිරීම අරුමයක් දැයි සිතෙන තරමට මවු සෙනෙහස, මිනිස්කම දෙදරා ගොස් තිබෙන සෙයකි.
මිනිසුන්ගේ ආත්ම ගෞරවය, මිනිස්කම කාන්තාවන්ට දරුවන්ට තිබිය යුතු සමාජ සුරක්ෂිතතාව හා ගෞරවය මේ තරම් නින්දාසහගත ලෙස පහළට ඇදදැමූ මානසික හා ආර්ථික පරාජයක් උරුම කළ වකවානුවක් ඉතිහාසයේ තවත් තිබිණි දැයි සිතේ.
මේ පූර්විකාව මේ විධියට ලියන්නට සිතුණේ තවත් හද කම්පා කරවන පෝලිම් මරණ 03ක් ගැන පසුගිය සතියේ අසන්නට ලැබුණු නිසාය.
දෙනවාය කියන අන්තිම තෙල් තොගයෙන් කෙසේ හෝ ටිකක් ගහගෙන තවත් දවසක් ජීවිතය ඇද ගෙන යන්නට වෙර දැරූ තාත්තා කෙනකු පානදුර, වෑකඩ ප්‍රදේශයේ තෙල් පෝලිමේම අවසන් හුස්ම හෙළුවේය.
තිදරු පියකු වූ ඒ තාත්තාගේ පුතා ඒ පිරවුම්හලේම යතුරුපැදි පෝලිමේ සිට තාත්තා ළඟට දුවගෙන ඇවිත් නඟන විලාපය අපගේ හද කම්පා කරවන්නට සමත් විය.
මේ තාත්තා පානදුර, හිරණ, විසල්උයන ප්‍රදේශයේ සුගත් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි අයෙකි.
ඉන්ධන පෝලිම්වල දුක්ඛදායක තත්ත්වය ගැන බොහෝ තැන්වල ඒවා දකින ඔබට කිවයුතු නැත. කිලෝමීටර 3-4 තල්ලු කරමින් පෝලිම ගෙවා දමන්නේ එක්කෝ තෙල් නැති නිසාය.
නැතිනම් තිබෙන තෙල් ටික රැකගන්නටය. බඩගින්න, විඩාව, පිපාසය, වෙහෙස පමණක් නොව ආතතියද ඒවායේ අනිවාර්ය ලක්ෂණ බව ඔවුන්ගේ මුහුණු දකින විට පෙනේ.
එදින උදේ පාන්දර තෙල් පෝලිමට පැමිණි මේ තාත්තා බඩගිනි නිවා ගන්නට දහවල් බත් මුලක් කඩයකින් ගෙන්වා ගෙන පුතා සමඟ ත්‍රීවීලරයේදීම කෑවේය.
දහවල ගෙවී රාත්‍රියද උදා විය. ඉන්ධන බලාපොරොත්තුවෙන් තවමත් පෝලිමේය. මහ රෑ පාන්දර 1.00ට පමණ ඔහු අපහසුවෙන් කෙඳිරි ගාන හඬ පෝලිමේ අසල්වැසියන්ට ඇසිණි. ඔවුන් වහාම බයිසිකල් තෙල් පෝලිමේ පුතාට පණිවුඩයක් යැව්වේය.
‘තාත්තේ… තාත්තේ ඔළුව උස්සන්න තාත්තේ… අනේ මොකද වුණේ කියන්න තාත්තේ යැයි තරුණ පුතා විලාප දෙමින් තාත්තාගේ ඔළුව අතගෑවේය. පපුව අතගෑවේය. ඔහු තාත්තාගේ හිස තම උකුල මත තබා ගෙන ත්‍රීවීලරයේ සිට අම්මාට කතා කරමින් ‘අම්මේ තාත්තා කතා කරන්නේ නෑ අම්මේයි‘ පොඩි දරුවකු මෙන් හඬන අයුරුද මාධ්‍ය පින්තූරවල පළව තිබිණ.
පුතා අනෙක් අය සමග එකතුව 1990ට කතා කළද ඒ වෙලාවේ එන්නට වාහනයක් තිබුණේ නැත. අපහසුවෙන් හුස්ම අදිමින් සිටි තාත්තා පානදුර රෝහල වෙත ගෙන යන විටත් ඔහු අවසන් හුස්ම හෙළා තිබිණ. ඒ මේ පාලනය විසින් උරුම කර දෙන ලද එක් පෝලිම් ජීවිතයක් අවසන් ගමන් ගිය අයුරුය.
මේ අතර පන්නල නගරයට ආසන්න කුලියාපිටිය මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි අයකුද පසුගිය 15 වැනිදා සවස හදිසි අසනීප තත්ත්වයකින් සඳලංකාව රෝහලට ඇතුළු කරන ලදුව මියගියේය.
ඔහු හොරවඩුන්න, ඇලබඩගම ප්‍රදේශයේ 62 හැවිරිදි තාත්තා කෙනෙකි. අනෙක් මරණය ගෑස් පෝලිම් මරණයකි.
එසේ මියගියේ පූගොඩ, ඕවිටිගම ප්‍රදේශයේ 62 හැවිරිදි අයෙකි. ඔහු ගෑස් ටැංකිය වීල්බැරෝවක තබාගෙන යන විට හෘදයාබාධයකින් මියගොස් තිබිණ.
ආණමඩුව, මහඋස්වැව දරුවන් 04 දෙනකුගේ තවත් තරුණ තාත්තා කෙනකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ පැය 12ක් එක දිගට නිදි වැරූ ඉන්ධන පෝලිම් සාපයකිනි.
මෙසේ මියගියේ 37 හැවිරිදි අජිත් ජයසිංහය.
මේ තාත්තාට දියණියන්ම 04 දෙනෙකි. එයින් වැඩිමහල් දියණිය 10 වැනි ශේර්ණියේය. දෙවැන්නා 05 වැනි ශේර්ණියේය. අනෙක් බාල දියණියන් දෙදෙනා පෙර පාසල් යන නිවුන් සොයුරියන්ය.
දුප්පත් තාත්තා අජිත් ආණමඩුව සමුපකාර ඉන්ධන පිරවුම්හලින් තෙල් ලබා ගැනීම සඳහා රාත්‍රිය නිදි වරමින් තෙල් පෝලිමේ සිටියේය.
එහෙත් තවමත් තෙල් ලැබුණේ නැත.
දැන් එළිවන විට කුඩා දියණියන් දෙදෙනා පාසල් ඇරලවීම සඳහා ගෙදර පැමිණිය යුතුය. තාත්තා පාන්දර 3 – 4ට විතර ගෙදර පැමිණෙමින් සිටියේ ඒ කටයුත්තටය.
විඩාවෙන්, වෙහෙසෙන්, සිත් කනස්සල්ලෙන් දරුවන් ගැන සිතමින් එන තාත්තාගේ බයිසිකලය නවගත්තේගම ප්‍රධාන මාර්ගයේ ලබුගලදී අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බස් රථයක වැදී තිබිණ.
දියණියන් හතර දෙනකුගේ බර අහිංසක අම්මාට භාරදී මේ තාත්තාද අවසන් ගමන් ගියේය.
තනිවූ දියණියන් හතර දෙනා අම්මා සමඟ විළාප දෙන හඬ මේ පාපයේ නිර්මාණකරුවන්ට නෑසුනත් ආණමඩුව, නවගත්තේගම ප්‍රදේශයම කම්පා කරමින් තිබුණේය.
මේ අසරණ මිනිසුන්ගේ මරණවලට වග කියන්නේ කවුද? වරද කාගේද? විසඳුමක් දෙන්නට, සොයන්නට වෙහෙසෙන බවක් පෙනෙන තෙක් මානයේවත් තිබේද?
බණට දහමට උගන්වන කර්මය, අනියත බව එසේත් නැත්නම් ‘කෝ සදා ජීවති ඉධ’ (මෙලොව සදා ජීවත් වුණු කෙනකු නොවීය) බණ පද අප ඇති තරම් අසා ඇත. එහෙත් නින්දිත ලෙස උරුම කර දෙන ලද ක්‍රමයක් තුළ ඒවා පරයා ජීවිතය පමණක් නොව මරණයද වංචාවක් බවට පත් කොට තිබෙන බව නම් පැහැදිලිය.
තිස්ස කොරතොට,
පොතුපිටිය-සුමිත් රණවක
උපුටා ගැනීම - මව්බිම පුවත්පත