රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ට කෲර ලෙස වධ හිංසා පමුණුවා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන CID වෙත ලැබී ඇති බවට පසුගියදා වාර්තා වුණු අතර ඇමති රාජිත සේනාරත්නද පවසා සිටියේ එම දර්ශන වල ප්‍රභූ පවුලක සමාජිකයින් සිටින බවට තමන්ට දැනගන්නට ලැබුණු බවයි.
එම දර්ශන මේ වන විට රහස් පොලීසිය භාරයේ පවතින බවත් ඉදිරියේදී ඒවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට මීට පෙර කරුණු වාර්තා වුණත් පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයේදී අනාවරණ වුණේ එය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් නොව මිනී මැරුමක් බවයි.
මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ බව තහවුරු කරගෙන ඇති අතර එහි අවසන් පරීක්ෂණ වාර්තාව එදින අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
පසුගිය දා අධිකරණයට ඉදිරිපත් වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාවට අනුව හෙලිවී ඇත්තේ තාජුඩීන්ට පහර දී දුර්වල කොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවයි.
කෙසේ නමුත් සිද්ධියට අදාල වීඩියෝපට කීපයක් පරීක්‍ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී ඇති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන බවට වාර්තා වෙනවා.
මෙම ඝාතනය සිදුවීමෙන් පසු එවකට පොලිසිය කිසිම ආකාරයක නිවැරදි පරීක්‍ෂණයක් සිදු නොකිරීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී පොලිසියට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇති අතර 2012 වර්ෂයේදී සිදුවූ තාජුඩීන් මහතාගේ ඝාතනය සහ ඔහු පැහැරගෙන යැමේ සිදුවීම්වලට අදාළ සීසීටීවී වීඩියෝ පට මකා දමා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බවට වාර්තා වෙනවා.
එසේ මකා දමන ලද සීසීටීවී වීඩියෝ දර්ශන නැවත ලබා ගැනීමට පොලිසිය මොරටු විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගනිමින් සිටීන අතර ඝාතනය සිදුවීමෙන් වසර 3 කට පසු නව රජය බලයට පත්වී 2015 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම පරීක්‍ෂණ කටයුතු නැවත ආරම්භ කෙරුණා.
කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානවල සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන වසර තුනක කාලයක් තබාගෙන නොසිටින අතර ඒවා කෙටි කාලසීමාවක් තුළදී මකා දමන බවද පොලිස් මූලස්‌ථානය කියා සිටියි. පොලිසිය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ මෙම ඝාතනයට අදාළව රූපගතවී ඇති බවට සැකකරන සීසීටීවී දර්ශන නැවත ලබා ගැනීමටයි.