මහියංගණය ප්‍රදේශයේදී පසුගියදා ඇඟලුම් සේවිකාවක් වූ රම්‍යා විදර්ශනී අබේවර්ධන නමැති තරුණිය ඝාතනය කළ සැකකරු ලබන 17දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කොට බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මත මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
තරුණිය පැහැරගැනීමට ලක්වන අවස්ථාවේදී ඇය දුරකථනයෙන් තවත් අයෙකු සමඟ කතාකරමින් සිටි බවට පොලිසිය සැක කරන අතර ඇයගේ කෑ ගැසීමේ ශබ්දය ඔහුට ඇසෙන්නට ඇත බවයි පැවසෙන්නේ.
සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනිද්දී ඔහු රඳවා ගෙන සිටි 15 හැවිරිදි දැරියට වස පොවා ඔහුද වස පානය කොට තිබුණා. මෙම තරුණයා මීට පෙරද විවාහයක් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වුණා. පසුගිය 03 දින එම සැකකරු අත්අඩංගුවට ගෙන මහියංගණය රෝහලට ඇතුළත් කර ඒ පිළිබඳ මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ කරුණු පරීක්‍ෂා කර සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කර තිබෙනවා.
දැනට බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරුගේ තත්ත්වය බරපතළ නොවන බවත් බන්ධනාගාර නිලධාරීන්ගේ සහායට පොලිස් රැකවරණද ලබාදී ඇති බවත් වාර්තා වෙනවා.
සිද්ධිය වූ දිනයේ එම ඇඟලුම් සේවිකාව බස්රථයෙන් බැස කිසිවකු සමඟ ජංගම දුරකතනයෙන් කතා කරමින් නිවෙසට එන අතරතුරදී අතරමඟ රැක සිටි සැකකරු ඇය පැහැරගෙන ගොස් ඇති බවත් කෑගැසීමේ ශබ්දය සමඟ දුරකතනය විසන්ධි වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පවසන පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට අදාළ ජංගම දුරකතනය පරීක්‍ෂා කිරීමටද තීරණය කොට තිබේ.
ඒ සඳහා අධිකරණයේ අවසර ලබා ගැනීමට පොලිසියය තීරණය කොට තිබේ. ඇය ඝාතනයට ලක්වූ ස්ථානයේ තිබී ඇයට අයත් ජංගම දුරකතන දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ පිළිබඳ මහියංගණය වැඩබලන පොලිස් ස්ථානාධිපති වීරවංශ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.