නොහික්මුණු ලෙසින් හැසිරෙමින් පාසැලේ අනෙක් සිසුන්ට කරදර හිරිහැර කර, මුදල් පවා ඉල්ලා තර්ජනය කරන සිසුන් පිරිසක් හේතුවෙන් පසුගියදා අම්බලන්ගොඩ බලපිටිය රේවත ජාතික පාසලේ වසා දැමීමට පවා සිදුවුණා.
පාසලේ ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික පාසල් අධ්‍යක්ෂ පී.එන්. ඉල්ලෙපෙරුමද ඊයේ උදෑසන එම පාසලට පැමිණියා. මේ වනවිට ඔහුගේ ප්‍රධානත්වයෙන් රේවත විදුහලේදී සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවයි පාසලේ ගුරුවරයෙකු සඳහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා පාසලේ සියලුම ගුරුවරුන් මෙන්ම, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් ද සහභාගි වී තිබෙනවා.
පාසලේ සිසුන් කිහිපදෙනෙකුගේ නොහික්මුණු හැසිරීමට විරෝධය දැකීමක් ලෙස තමන් නිල නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකළ බව බලපිටිය රේවත පාසලේ ගුරුවරුන් සඳහන් කළා.
ඒ හේතුවෙන් පාසලේ දෛනික වැඩකටයුතු කිසිවක් සිදුවුණේ නැහැ. පාසලේ ගුරුවරුන් 60 දෙනෙකු පමණ සිටින අතර එදින පාසලට පැමිණ තිබුණේ එක් ගුරුවරයෙකු පමණයි.
එම පාසලේ ගුරුවරයෙකු වන උපාලි දොඩම්ගොඩ සඳහන් කළේ පාසලේ 10 වසරේ සහ 13 වසරේ සිසුන් කිහිපදෙනෙකු කලක සිට ගුරුවරුන්ට කරදර කරමින්, රාජකාරි කටයුතු ද බාධා එල්ල කරන බවයි.
කෙසේ වෙතත්, දෙමාපියන් සඳහන් කරන්නේ පාසලේ විදුහල්පතිවරයා විනය පවත්වා ගැනීමට නොහැකිවීම මෙම ගැටලූවට මූලික වී ඇති බවයි. මෙම සිද්ධිය නිසා ඊයේ (09) දිනයේදී ද පාසලේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.