8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සභා ගර්භයේදී ආරම්භ වුණා.
එහිදී පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය පත් කර ගැනුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ යෝජනාවෙන් සහ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගේ යෝජනා ස්ථීරත්වයෙන්.
නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල පත් කර ගත් අතර නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් පත් කර ගත්තා.
මීට අමතරව පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ දෙවන අසුනේ වාඩි වී සිටියා.
පාර්ලිමේන්තුවේ නව කථානයකවරයා තෝරා ගැනීමෙන් අනතුරුව පක්ෂ නායකවරුන්ට අදහස් දැක්වීමට අවස්ථාව හිමි වුණා.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අද කළ ප්‍රකාශයකට ආණ්ඩු පක්ෂය පාර්ශවයෙන් විරෝධය පළ කළා. ඒ, ‘‘ආයුධ ගැනීමක්’’ පිළිබඳව ඔහු කළ අදහස් දැක්වීමකටයි. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාට ද ඊට මැදිහත් වෙමින් අදාල මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි ප්‍රකාශ සිදු නොකර ලෙසයි.