ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී පිටු පහකින් සමන්විත දීර්ඝ ලිපියක් හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ වෙත යවා තිබුණා. එම ලිපිය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර දැඩි කතාබහක් ඇති වූ අතර එහි සඳහන් වූ ඇතැම් කරුණු පිළිබඳවද කතිකා ගොඩනැගෙන්නට වුණා.
කෙසේ නමුත් මේ ලිපියට පිළිතුරු ලබාදීමට මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබෙනවා. ඒ හෝමාගම පැවති රැළියකට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමිනුයි. ඔහු පවසා තිබෙන්නේ ‘‘මට ලියුමක් එවා තිබෙනවා. තාම බැලුවේ නෑ. ලව් ලෙටර් එකක්ද දන්නේ නෑ, ලව් එක කැඩුනම එවන එකක් වෙන්න පුලුවන්‘ යනුවෙනුයි.
කෙසේ නමුත් මෙම ලිපියේ සඳහන් වුනේ එළඹෙන මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන 113 වෙත ළගාවීමට සන්ධානයට හැකිවුවහොත් අගමැති ලෙස පත්විය යුත්තේ වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු බවයි.
ඒ සඳහා නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා සහ ඒ.එච්.එම් ෆවුසි යන අයගේ නම් මෙම ලිපියේ සඳහන් වී තිබුණා.
මේ අතර ඊයේ පැවති තවත් රැළියකට සහභාගි වූ මහින්ද රාජපක්ෂ මේ ලිපිය සම්බන්දයෙන් පවසා සිටියා. එහිදී ඔහු පවසා ඇත්තේ ‘‘ඔය ලියුම තාම මගේ අතට හම්බවුනේ නෑ. මම තාම පිට ඉන්නේ. දැන් බලන කොට ඒක හැම තැනම තියනවලු වෙබ් එකේ මට වෙබ් එක බලන්නත් වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් කොයි ලියුම ලිව්වත් මේ රටේ ජනතාව අද තීන්දු කරල ඉවරයි.‘‘ යනුවෙනුයි.