තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි අද්භූත කාන්තාවක්, පිරිමියකු හා කුඩා දරුවකු සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු සිය ගම්බිම් හැරදා යමින් සිටින පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.
මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දිවා කාලයේදී සහ රාත්‍රී කාලයන්හිදී දැක ඇති ගම්වාසීන් රැසක් සිය නිවාසවල ශාන්තිකර්මයන් පවා සිදු කරන්නට කටයුතු යොදා තිබේ.
එසේ සිදුකළත් මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා සෑම විටම ප්‍රදේශයේ සැරිසැරීම නිසා ගම්වාසීන් මෙන්ම කුඩා දරුවන්ද දැඩි භීතියට පත්ව පවුල් රැසක් ගම හැරදා ගොස් ඇති බවටත් වාර්තා වේ.
‘‘එක දවසක් මහ දවල් මම කුඹුරට වතුර හරවන්න ගියා. එකපාරටම වෙල් යාය මැද ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි කුඩා දරුවෙකුයි මතු වුණා. තප්පර දෙක තුනකින් ඒ තුන්දෙනා නොපෙනී ගියා. මම වටපිට බැලුවත් ඒ අය හොයා ගන්න බැරිවුණා‘‘
එලෙස පවසා ඇත්තේ අද්භූත තිදෙනා දැක බියට පත් වූ රාජපක්ෂගම පදිංචි එම්.ජී ඉන්ද්‍රාවතී මහත්මියයි.
හොල්මන් අවතාර විශ්වාස නොකරන ඇය මහ රෑ පවා කුඹුරට වතුර හැරවීමට යන අතර මෙම අද්භූත පුද්ගලයින් දැකීමෙන් පසු මේ වනවිට රෝගාතුරවද සිටී. ඇගේ දෙපාද හේතුවක් නොමැතිව නිය පහරවල් වලින් තුවාල වී ඇති බවටද ඇය පෙන්වා දී ඇත.
අද්භූත සිදුවීම් සිදුවන බව කියන රාජපක්ෂගම වෙල්යායකට යකදුරන් ගෙන්වා ශාන්ති කර්මයක් සිදු කිරීමටද ගම්වාසීන් කටයුතු කර ඇති බවට ග්‍රාම නිලධාරී අශෝක ධර්මකීර්ති මහතා පවසා තිබේ. එමෙන්ම ගම හැර යා නොහැකි ගම්වාසීන් සවස් වන විට දැඩි බියකින් නිවෙස්වලට වී සිටින බවද ගම්වාසීහු වැඩිදුරටත් පවසයි.