2012 වසරේ සිට අතුරුදන් වූ බවට පැවසෙන පොලිස් නිලධාරීයෙකුගේ ඇට සැකිල්ලක් බණ්ඩාරවෙල - ඔහිය රක්ෂිතයේ තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.
වන සංරක්ෂණ නිලධාරීන් ඔහිය රක්ෂිතයේ පසුගිය 4වනදා සිදුකළ සංචාරයකදී ඇට සැකිල්ල දැක පොලීසියට දැනුම් දීමෙන් අනතුරුවයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණේ. ඇට සැකිල්ල ආසන්නයේ තිබී බෑගයක් හමුවී ඇති අතර එහි තිබී පොලිස් දෙපාර්තමේන්තුවට අයත් හැදුනුම්පතක් ද සොයාගනු ලැබුවා.
ඒ අනුව මිය ගිය පුද්ගලයා වව්නියාව - සෙට්ටිකුලම පොලීසියට අනුයුක්තව සේවය කර ඇති බවටයි සැක කෙරෙන්නේ. එමෙන්ම බෑගයේ තිබී ඇඳුම් කිහිපයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඇටසැකිල්ල අසල තිබූ පසුම්බියක තිබී ලිපියක්ද හමුවී ඇති අතර එහි ලියා ඇත්තේ ඔහුගේ සිරුර හමුවුවහොත් එ පිළිබඳව පොලිසියට දැනුම් දී ජංගම දුරකථනය ආදිය ලොකු දුවට ලබා දෙන ලෙසයි.
පොලිස් නිල ඇඳුම ආසන්නයේ තිබී ඇඳුම් සමගින් මිනිස් අස්ථි කොටස් සහ ලිපිය සහිත පසුම්බියක්, පොලිස් හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, පොලිස් හිස්වැසුම, බඳපටිය, දත්බුරසුව, ඇඳුම් බෑගය ද සොයාගෙන ඇත.