මෙරට ආර්ථිකයට විශාල දායක්වයක් ලබා දෙන ශ්රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් සිටින්නේ විදේශගතවයි.
මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව මැද පෙරදිග රැකියා සඳහා විදෙස්ගතව සිටින සංඛ්යාව 152,218ක් වන අතර එම පිරිසෙන් බහුතරය ගෘහසේවයට ගොස් සිටින කාන්තාවන්.
පවුලේ ආර්ථිකය මෙන්ම රටේ සමස්ත ආර්ථිකය නාගාසිටුවීම සඳහාද ඔවුන්ගෙන් ලැබෙන්නේ විශාල දායකත්වයක්.
මෙරටට විදේශ විනිමය ලැබෙන ප්රධාන මාර්ගය විදෙස් ශ්රමිකයන් බවට පත්ව ඇත්තේ ඒ අනුවයි.
එලෙස විදෙස් සේවයට ගිය ත්රීකුණාමලය ගෝමරන්කඩවල ප්රදේශයේ පදිංචි ටී.එස්. මල්ලිකා ප්රනාන්දුයි මේ.
දියණියන් දෙනෙක් සහ පිරිමි දරුවෙකුගෙන් යුත් පවුල නඩත්තු කිරීම සඳහා ස්වාමිපුරුෂයාගේ ගොවිතැන් කටයුතු පමණක් ප්රමාණවත් නොවූ හෙයින් ඇය විදෙස් ගත වීමට තීරණය කරනවා.
ඒ අනුව ඇය 2014 වසරේදී සෞදි ආරාබියේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කිරීම සඳහා විදෙස්ගත වනවා.
එහි දී ඇය ගෘහ සේවයේ යෙදී සිටි නිවෙස් හිමි කාන්තාවගෙන් අමානුෂික ලෙස වද හිංසනයට ලක්වනවා.
එම කාන්තාව විසින් යකඩ ඇන 11ක් පමණ ගිල්වා අමාණුෂික ලෙස පහදීමට ලක් කළ බවයි මල්ලිකා පවසන්නේ.
පවුලේ බර හෑල්ලු කර තැබීමේ අරමුණින් විදෙස් ගත වූ මල්ලිකා අද මේ වන විට තම පවුලට අමතර බරක් බවට පත්ව ඇත්තේ ඇය දැන් දරුණු ස්නායු රෝගයකින්ද පෙළෙන බැවින්.
ඇයගේ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ඇයට නිතර නිතර රෝහල් ගතවී ප්රතිකාර ලබාගැනීමටද සිදු වී තිබෙනවා.
මෙරට සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදීමට විදෙස්ගත වන ගෘහ සේවිකාවන් මෙලෙස වද හිංසනයට ලක්වීම වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු නොවේද?