හිරු එෆ් එම්, හිරු ටී.වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය උතුම් වූ පොසොන් පොහොය නිමිතිකොට ගෙන සංවිධාන කරනු ලබන හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් මහා පිංකම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අද (02) දවස පුරා සේරුවාවිල - මංගල මහා විහාරයේදී පැවැත්වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී ලලාට ධාතූන් වහන්සේ නිධන් කොට ඇති මංගල මහා සෑ රදුන් අභියස පැවැත්වෙන උදෑසන ශීල සමාදාන කටයුතුවලින් හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පොසොන් පිංකමේ කටයුතු ආරම්භ වුණා.
ධර්ම දේශනා සහ කාලීන ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් මෙවර හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පොසොන් පිංකමට ඇතුළත්. පසුගිය වසර කිහිපයේ මෙන්ම මෙවර ද හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් පිංකමේදී උතුම් වූ සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් සසුන් ගත කරවීමේ මහා පිංකම ද පැවැත්වෙනවා.
ඉන් අනතුරුව මහා සංඝරත්නය සියක් නමක් උදෙසා සිරිත් පරිදි දන් පැන් වඩවා සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමීමට සියල්ල සූදානම්. හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් මහා පිංකමේ මෙම සියලූ පුණ්‍ය කටයුතු සිදුකරනු ලබන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
බුදුන් වහන්සේගේ ශ්‍රී ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්ථාපනය කර ඇති මංගල මහසෑ රදුන් උදෙසා විශේෂ කප්රුක් පූජාවක් ද අද පස්වරුවේ පැවැත්වෙනවා. එමෙන්ම බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් මංගල මහා සෑ රඳුන් උදෙසා පූජා කර ලක්ෂ සංඛ්‍යාත පිංච මලින් මහ සෑ රඳුන් පිදීමේ මහා අධිෂ්ඨාන පූජාව ද අද පස්වරුවේ පැවැත්වෙන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පොසොන් පිංකම සඳහා සියලූ කටයුතු මේ වන විට සේරුවිල මංගල මහා විහාර පුදබිමේ සංවිධානය කර අවසන්.