කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රත්රන්, මුතු මැණික් ඇතුළු වටිනා ස්වර්ණාභරණ රාශියක් අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.
මේ පිළිබඳ සොයා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් කටුනායක ගුවන් තොටුපළේ නිලධාරීන් පිරිසක් දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිල්ලක් කර තිබෙනවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හිටපු සභාපතිවරයාගේ පාලන කාලය තුළ මේ වටිනා මුතු මැණික් ස්වර්ණාභරණ අස්ථානගතවී ඇති බවට තොරතුරු ඇතැයි එම පැමිණිල්ල ඉදිරිපත් කළ නිලධාරීහු සඳහන් කර තිබෙනවා.
මේ වටිනා රන් රිදී මුතු මැණික් කාලයක් තිස්සේ ගුවන් මගීන් ගුවන් තොටුපළ තුළ දමා ගොස් තිබී සොයා ගනු ලැබූ ඒවායි.
ගුවන් මගීන්ට අමතක වීමෙන් දමා ගිය අයිතිකරු සොයාගත නොහැකි ගමන් මලුවල තිබී සොයාගත් වටිනා ද්‍රව්‍ය, රේගුවට හා ආරක්ෂක අංශවලට හසුවෙනු ඇතැයි යන සැකය මත දමා ගිය බෑග් වල තිබී සොයාගත් රන් රිදී මුතු මැණික් හා රන් භාණ්ඩ ආදී වශයෙන් ජාවාරම්කරුවන් හා වංචාකරුවන් විසින් ගුවන් තොටුපළින් පිටකර ගැනීමට නොහැකිව දමා ගිය සහ ගුවන් යානාවල එවැනි හේතු මත දමා ගිය ගමන් මලුවල තිබී සොයාගත් වටිනා භාණ්ඩ මෙසේ ආරක්ෂක අංශ හරහා ගුවන් තොටුපල බලධාරීන් වෙත බාරදීමෙන් පසු ගුවන්තොටුපළ කළමනාකරු භාරයේ ඇති සේප්පුවේ ආරක්ෂාවට තබනවා.
මේ ආකාරයෙන් කෝටි ගණනක් වටිනා කාලයක් තිස්සේ එකතු වූ එවැනි වටිනා භාණ්ඩ විශාල ප්‍රමාණයක් සේප්පුවේ තිබී අතුරුදන්ව ඇතැයි සඳහන්.
වටිනා මැණික් ගල් ගණනාවක්, මුතු, ගජමුතු සහ රත්තරන් විශාල ප්‍රමාණයක් එහි තිබූ බව පැමිණිල්ලේ සඳහන්.