වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කරගෙන හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය මෙන්ම උත්තම ධාතු වන්දනා සර්වඥ ධාතු ප්‍රදර්ශනය මෙවරත් බැති සිතින් පවත්වන්නට සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර අවසන්. එය පැවැත්වෙන්නේ කතරගම ඵෙතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින්.
ආගම දහමේ තිරස්චිතිය උදෙසා නිබදව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් සම්බුදු තෙමඟුල වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. අද දිනය පුරාම දාන, ශීල, භාවනා ආදියට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන කෙරෙන කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් පුද බිම ආලෝකවත් කිරීමේ පූජාවන් ද අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මූලිකත්වයෙන්. එමෙන්ම අද පස්වරුවේ කතරගම දෙවිදුන් වෙනුවෙන් පැවැත්වෙන සෙත් කවි සුගායනයකටද බැතිමතුන්ට සහභාගි විය හැකියි.
කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ලක්වාසී ජනතාවට වැද පුදා ගැනීමේ අවස්ථාව හිමි වන හිරු උත්තම ධාතු වන්දනාව ආරම්භ වන්නේ හෙට (04) අලුයම් කාලයේදියි. ඒ සඳහා වස්කඩුව - රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ හෙට අලුයම කතරගම කිරිවෙහෙර පුද බිමට වැඩම කරවනු ඇති.
කතරගම කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේ හෙට අලූයම සිට පුරා දෙදිනක් ලක්වාසී ජනතාවට වන්දනාමාන කරන්නට අවස්ථාව සැලසෙනවා.
පසුගිය වසර දෙකේදී මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පසුගිය වසරේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කළා.