අප්‍රේල් 20, 21 දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත 21 වැනිදා පස්‌වරුවේ සම්මත කර ගැනීමට පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබුණ ද එය තවත් දින කිහිපයකින් කල් යැමට ඉඩ ඇතැයි ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.
මෙයට හේතු වී ඇත්තේ නව මැතිවරණ ක්‍රමයක් ඇතුළත් විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද දහනව වැනි සංශෝධනය සමග එකට සම්මත කරගත යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉල්ලා සිටීම නිසා බව වාර්තා වෙනවා.
පසුගිය බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පිරිසක් හමුවී දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහාය ඉල්ලා තිබෙනවා.
එහිදී ඔවුන් පවසා තිබෙන්නේ නව මැතිවරණ ක්‍රමයක් ඇතුළත් විසිවැනි සංශෝධනය ද දහනව වැනි සංශෝධනය සමග ඉදිරිපත් කළ යුතු බවයි.
මේ අනුව නව මැතිවරණ ක්‍රමයක් කෙටුම්පත් කිරීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස් මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් ද මෙහිදී පත්කර තිබෙනවා.