වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් මව්පිය භාරයෙන් පැහැරගෙන ගොස් බිරිඳ ලෙස තබාගත් වයස අවුරුදු 18 ක තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලිවාසලතුරේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මොහු වෘත්තියෙන් ධීවරයෙකු වන අතර පැහැරගැනීමට ලක්ව ඇත්තේ මාතලේ ඕවිල්කන්ද ප්‍රදේශයේ පදිංචි දැරියක්. සැකකාර තරුණයා සිය ඥාතීන් පිරිසක් සමඟ පසුගිය දිනක මාතලේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී පැහැරගැනීමට ලක්වූ දැරිය ඔහුට හමුව තිබෙනවා.
එම හමුව ප්‍රේම සබඳතාවක් බවට පත්ව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි සැකකරු ලබාදුන් පණිවුඩයකට අනුව දැරිය පසුගිය 7 වැනිදා පුත්තලමට පැමිණ ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරු පුත්තලමට ගොස් දැරිය කැඳවාගෙන කල්පිටියේ පිහිටි තම දෙමව්පියන් පදිංචි නිවසට පැමිණ තිබෙනවා. කල්පිටියේ පදිංචි සැකකරුගේ ඥාතියෙකු මේ පිළිබඳව දැරියගේ දෙමව්පියන්ට දැනුම්දී ඇති අතර ඒ අනුව ඔවුන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ සිය දියණිය පැහැරගෙන ගොස් ඇති බවටයි.