ලෝක කුසලානයේ තීරණාත්මක තරඟයක් ලෙසින් ඊයේ (19) දිනයේ ඉන්දියාව හා බංග්ලාදේශ් තරඟය පිළිබඳව තවමත් බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙමින් පවතිනවා. මීට හේතු වී ඇත්තේ එම තරඟයේදී විනිසුරුවරුන් විසින් ලබාදුන් ඇතැම් තීරණ මතබේදාත්මක වීමයි.
ඉන්දීය පිලේ ධවාන් විසින් රැකගත් උඩපන්දුව මෙන්ම රෝහිත් ශර්මා එල්ලකල පහරකට එය නිපන්දුවක් ලෙස නම් කිරීම මේ අතර කැපී පෙනෙන සිදුවීම් බවට පත්වුනා.
මේ පිළිබඳව අදහස් පළකර ඇති බංග්ලාදේශ්හි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන මුස්තෆා කමාල් පවසා ඇත්තේ මෙම තරඟය පවාදුන් බවට ඔහුට හැඟෙන බවයි. ඔහු මෙලෙස අදහස් දක්වා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වාර්තාකරුවන් හමුවේ තරඟය නිමාවීමෙන් පසුවයි.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඔහු පවසන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ICC රැස්වීමේදී මේ පිළිබඳව පැවසීමට ඔහු කටයුතු කරන බවයි. තවද ඔහු පවසන්නේ යම්කිසි පාර්ශවයකින් විනිසුරුවරුන්ට බලපෑම් එල්ල වී ඇති බවයි. ඒ ඉන්දියාවට වාසිදායක වන ලෙස තීරණ ලබාදෙන ලෙසට බවත් ඔහු පවසා තිබෙනවා.
කිසිදු වගකීමකින් හෝ ප්‍රමිතියකින් තොරව තරඟයේදී තීරණ ලබාදීමෙන් එය පෙනීයන බවද ඔහු වැඩිදුරටත් පවසනවා. බොහෝදුරට තමන් බංග්ලාදේශ් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත් ඔහු වාර්තාකරුවන් හමුවේ පවසා තිබෙනවා.
ICC හි පෙර තේරුම International Cricket Council වූවත් එය මේ වන විට Indian Cricket Council ලෙස වෙනස් වී ඇති බවත් එනිසා තවදුරටත් එහි රැදී සිටීමට තමන් කැමති නැති බවත් ඔහු පවසා තිබෙනවා.