හතර හැවිරිදි පෙර පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ අධි චෝදනාවට වරදකරු කරනු ලැබූ 68 හැවිරිදි විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විඡේරත්න මහතා ඊයේ ( 07) බරපතළ වැඩසහිත වසර හතක සිර දඬුවම් නියම කර තිබෙනවා.
එයට අමතරව විත්තිකරුට රුපියල් දස දහසක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා එහිදී නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙයට වසර දහයකට පෙර සිදුවී ඇති එම වරද සම්බන්ධයෙන් විත්තිකරු දැඩි සේ පසුතැවෙන බව පෙන්වා දෙමින් එකී සිර දඬුවම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ආගමික සිද්ධස්‌ථානයක සේවය කළ වැඩිහිටියකු වන එම විත්තිකරු සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක් බවත් එවැනි බරපතළ වැරැදිවලට අත්හිටුවන දඬුවම් ලබාදීම සමාජයට වැරැදි පූර්වාදර්ශයක් විය හැකි බවත් පෙන්වා දුන් විනිසුරුවරයා විත්තියේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.