පුලස්තිගම පොලිසිය, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සියයකට අධික පිරිසක් එකතු වෙලා කරපු දැවැන්ත මෙහෙයුමකින් පස්සේ තමයි තඹාල වැව ආසන්නයේදී ඇයව සොයාගන්න ලැබිලා තියෙන්නේ.
වැලිකන්ද, මොනරතැන්න ප්‍රදේශයේ පදිංචි මේ තරුණිය පසුගිය 2 වැනිදා උදේ තමන්ගේ හිතවතෙක් එක්ක බයික් එකකින් සොමාවතිය පාරේ ඇවිත් තියෙනවා. පස්සේ සුංගාවිල රක්ෂිතය ළඟින් බයික් එක නවත්තලා දෙන්නත් එක්කම කැලේ ඇතුළට ගිහින්. හැබැයි කැලේදී දෙන්නා දෙපැත්තට වෙන් වීමත් එක්ක තරුණිය අතරමං වෙලා.. ඇයව හොයාගන්න බැරිවුණු තරුණයාටත් කරකියාගන්න දෙයක් නැතුව ගිහින් තියෙනවා.
මේ අතරේ රක්ෂිතයේ පාර අයිනේ අයිතිකාරයෙක් නැති බයික් එකක් නවත්තලා තියෙනවා දැකලා ලැබුණු තොරතුරකට අනුව පොලිසිය කරපු සෝදිසියකදී අදාළ තරුණයා මාට්ටු වෙලා තියෙනවා. ඊටපස්සේ තරුණිය අතුරුදන් බව දැනගත් වහාම පොලිස් නිලධාරීන් 60ක්, වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් 65 දෙනෙක් විතර එකතු වෙලා මුළු කැලේම පීරලා සෝදිසි මෙහෙයුමක් පටන් අරන්.
අන්තිමේදී තඹාල වැව ළඟ කෙල්ලෙක් ඉන්නවා කියලා ලැබුණු ආරංචියකට අනුව ගිය පොලිසිය ඇයව සොයාගෙන තිබෙනවා. තරුණිය පොලිසියට කියලා තියෙන්නේ තරුණයාගෙන් වෙන් වුණාට පස්සේ අතරමං වුණු බවත්, රෑ තිස්සේම ගසක් යට ඉඳලා රැය පහන් කරපු බවත්ය.
කැලේ පුරාම අලි සැරිසැරුවත් තමන්ට කිසිම හානියක් වුණේ නැති බවත්, අතේ තිබුණු වතුර බෝතලයෙන් වතුර ටික ටික බොමින් පාර හොයාගෙන තඹාල වැව ළඟට ආපු බවත් ඇය පවසා තිබෙනවා.
පස්සේ මේ තරුණියව දෙමාපියන්ට බාරදීලා වැඩිදුර පරීක්ෂණ සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කරලා තියෙනවා. මේ අතරේ තරුණිය එක්ක කැලේට ගිය තරුණයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ මේ මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.