ඔබ භාවිත කරන ඒ සනීපාරක්ෂක තුවා සඳහා නිසි ප්‍රමිතියක් පවතිනවාද..? මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවයි.
පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන මෙන්ම මෙරටට ආනයනය කරනු ලබන සියලුම සනීපාරක්ෂක තුවා (Sanitary Towels) ගැනයි මේ විශේෂ ආරංචිය. මෙරට පරිභෝජනය සඳහා ගෙන්වන සියලුම සනීපාරක්ෂක තුවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිල ප්‍රමිති සහතිකය ලබාගැනීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනිවාර්ය කර තිබෙනවා.
ඒ අනුව, 2026 ඔක්තෝබර් මස 8 වැනිදායින් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිල ලාංඡනය නොමැති කිසිදු සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් මෙරට තුළ නිෂ්පාදනය කිරීම, ඇසුරුම් කිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම සපුරා තහනම් වෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම විශේෂ නියෝගය නිකුත් කර ඇත්තේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය ප්‍රකාරවයි.
මෙම නව රෙගුලාසි ප්‍රධාන වශයෙන් නිෂ්පාදන කාණ්ඩ දෙකක් යටතේ වලංගු වෙනවා.
ඒ එක්වරක් පමණක් භාවිත කර ඉවත් කරන සාමාන්‍ය සනීපාරක්ෂක තුවා (SLS 1732 ප්‍රමිතිය) සහ එක්වරක් පමණක් භාවිත කර ඉවත් කරන සිහින් (Slim) සනීපාරක්ෂක තුවා (SLS 1748 ප්‍රමිතිය) ලෙසයි.
දේශීය නිෂ්පාදනවලට අමතරව විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා ද මෙම නීතිය එලෙසින්ම ක්‍රියාත්මක වෙනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ අනුමත නොකරන ලද කිසිදු ආනයනික සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයකට මෙරටට ඇතුළු වීමට හෝ දේශීය වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට අවසර නොලැබෙනු ඇතියි.