දංකොටුව පොලිස් වසමට අයත් මහවන්ත ප්‍රදේශයේ රජයට අයත් ගොවිපොළක වැලි සහ මැටි කපා ඉවත් කළ ජලය පිරී ඇති ස්ථානයක මාළු ඇල්ලීමට ගිය එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ දංකොටුව මහවන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 37 ක් වූ අවිවාහකයෙකු වන ඔලිවර් ප්‍රනාන්දු හා අවුරුදු 44 ක් වයසැති තිදරු පියකු වන බැන්ත්‍රාස් ග්‍රේෂන් ප්‍රනාන්දු නමැති එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි.
මියගොස් සිටින සොහොයුරෝ දෙදෙනාම එම ගොවිපොළේ සේවය කරමින් සිටි අය වෙනවා.
මෙම ස්ථානය මීට වසර ගණනාවකට පෙර ගොවිපළේ සතුන්ට ජලය බීමට පස් කපා ඉවත් කර වැසි කාලවලදී ජලය එක් රැස් වීමට කුඩා ප්‍රමාණයේ වළක් සකසා තිබෙනවා.
ඉන් පසු ඉකුත් කාලයේ කිසියම් පිරිසක් අසීමිත ලෙස එම ස්ථානයේ වැලි සහ මැටි ඉවත් කිරීම හේතුවෙන් අක්කර දෙකක පමණ වපසරියකින් යුත් වැවක් නිර්මාණය වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසනවා.
මියගිය සොහොයුරන් දෙදෙනා නවත් සිව්දෙනෙකු සමග ජලය පිරී ඇති ස්ථානයේ ඉකුත් 04 වැනිදා දහවල් මාළුන්ට දැලක් එළා එදින රාත්‍රී හතට පමණ දැලෙහි පැටලී ඇති මාළු ගැනීමට ඔවුන් වළට බැස යන අතරේ දියේ ගිලී ඇති අතර, සෙසු සිව්දෙනා දිවි බේරාගෙන ගොඩට පැමිණ තිබුණා.
පසුව අතුරුදන් වූ දෙදෙනා සොයා ගැනීමට උත්සාහ කළද නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් අනතුරුව ඊයේ දහවල් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් මහන් පරිශ්‍රමයක් දරා කිමිදී දියේ ගිලී සිටි දෙදෙනාගේ සිරුර සොයා ගැනීමට කටයුතු කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.

දිවයින පුවත්පත ඇසුරෙන්..