තත්පරයක නොසැලකිල්ල නිසා රූමත් තරුණියකගේ ජීවිතය අකාලයේ නිවී ගිය අතර, තවත් තරුණියක් මේ වන විටත් මරණය සමඟ සටන් කරමින් සිටියි. හබරාදුව, කොක්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික නිවසක නවාතැන්ගෙන සිටි තරුණියන් දෙදෙනෙකුට අකුණු සැර වැදීමෙන් මෙම ඛේදවාචකය සිදුවිය. මොවුන් දෙදෙනාම කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවෙහි නිරත වූවන්ය.
අකුණු සැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙනියාය, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි ඉමාෂා මදුභාෂණි නම් තරුණියයි. අනෙක් තරුණිය බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
තාක්ෂණිකව බැලූ විට ජංගම දුරකථනයකට සෘජුවම අකුණක් ඇද ගැනීමේ හැකියාව ඉතා අඩුය. නමුත් ඔබ ඔබේ දුරකථනය ප්‍රධාන විදුලි පද්ධතියට (Socket) සම්බන්ධ කර ඇති මොහොතක තත්ත්වය අතිශය භයානකයි.
ඒ වෙලාවට ඔබේ අතේ තිබෙන්නේ "නැතිවම බැරි උපකරණය" නොව, විදුලි රැහැන් පද්ධතිය හරහා පැමිණෙන අධි බලැති විදුලිය ශරීරය කරා ගලා යන විවෘත මාවතකි.නිවස අවට විදුලි රැහැන් පද්ධතියකට අකුණක් පතිත වූ විට, එම අතිවිශාල වෝල්ටීයතාව විදුලි රැහැන් දිගේ නිවස තුළට පැමිණෙයි. ඔබ එම වෙලාවේ,දුරකථනය චාර්ජ් කරමින් සිටින්නේ නම්,එය කන අසල තබාගෙන හෝ අතින් ස්පර්ශ කරමින් සිටින්නේ නම්,
එම මාරක විදුලිය දුරකථනයේ පරිපථ විනාශ කරමින් ඔබේ ශරීරයට ඇතුළු වෙයි. ඉතාමත් සුළු තත්පරයකදී එය ඔබේ මොළයට හෝ හදවතට බරපතල හානි සිදුකර ජීවිතය උදුරා ගනියි.
සමාජ මාධ්‍ය පුරා මේ දිනවල සංසරණය වන, අකුණු සැර වැදී හිසට බරපතල හානි සිදුවූ තරුණියකගේ ඡායාරූපය මගින් පසක් කරන්නේ මේ කටුක යථාර්ථයයි.
විදුලි කොටන අවස්ථාවක දුරකථනය ආරෝපණයෙන් ඉවත් කර තැබීමෙන් හෝ භාවිතා නොකර සිටීමෙන් ඔබ මිය යන්නේ නැත. නමුත් නොසැලකිලිමත් වුවහොත්, නැවත කිසිදා දුරකථනයක් භාවිතා කරන්නට ඔබ මේ ලෝකයේ ඉතිරි නොවනු ඇත.
"අපිට ඕවා වෙන්නේ නැහැ කියා පණ්ඩිතකම් කියන්න එපා. සොබාදහම හමුවේ මිනිසා ඉතා කුඩා සත්වයෙක් පමණි."
හබරාදුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන අතර, වැසි සහිත කාලගුණයක් පවතින අවස්ථාවල විදුලි උපකරණ පරිහරණයෙන් ඉවත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද ජනතාවගෙන් ඉල්ලා සිටියි.