ඒ සුළඟ රැගෙන ආවේ මීට වසර කිහිපයකට පෙර මුළු ගමටම ආඩම්බරයක් වෙමින් කොළඹ බලා පියනැගූ "මිතුසන්" ගේ වියෝව පිළිබඳ පුවතයි.
කාදීර් කාමනාදන් මිතුසන්, 25 හැවිරිදි වියේ පසුවූ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවෙකි. තව මාස කිහිපයකින් ඔහු ඉංජිනේරුවෙකු ලෙස තම පවුලේත්, ගමේත් බලාපොරොත්තු ඉටු කිරීමට සීරුවෙන් සිටි දක්ෂ තරුණයෙකි. එහෙත්, ඉරණම ඔහුට ඒ දින කිහිපය ඉතිරි කළේ නැත.
අප්‍රේල් 19 වනදා පස්වරුව... බෙන්තොට වෙරළ තීරය සුපුරුදු පරිදි රන්වන් පැහැයෙන් බැබළෙමින් තිබුණි. මිතුසන් සිය සරසවි මිතුරියන් දෙදෙනෙකු සමඟ එහි පැමිණියේ අවසන් වසරේ කාර්යබහුල අධ්‍යයන කටයුතු මැද මඳ විවේකයක් ලබන්නටය. සිනා හඬවල් සහ වෙරළට ගසන රළ හඬ මැද ඔවුන් සැහැල්ලුවෙන් දිය නෑමට එක් විය.
නමුත්, හදිසියේම සියල්ල වෙනස් විය. බෙන්තොට මුහුදේ චණ්ඩ රළ පහරක් නොසිතූ මොහොතක මිතුසන්ව වෙළා ගත්තේය. මිතුරියන් බලා සිටියදීම මහා ජල කඳක් ඔහු මුහුද මැදට ඇදගෙන ගියේ ලොවක් වටිනා ජීවිතයක් බිලිගන්නටය.
කඩිනමින් ඔහු බේරාගෙන ගොඩට ගෙන බෙන්තොට රෝහලට ඇතුළත් කළත්, ඒ වන විටත් මිතුසන් මේ ලෝකයෙන් සදහටම සමුගෙන අවසන්ය. ඉංජිනේරු විද්‍යාවේ සංකීර්ණ ගැටලු විසඳූ ඒ තරුණ දෑත් අද නිසලව තිබේ.
අද බෙන්තොට රෝහලේ මෘත ශරීර තැන්පත් කර ඇති කුටියේ මිතුසන් නිහඬව සැතපී සිටියි. බලපිටිය රෝහලේදී සිදු කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව, ඔහු සිය උපන් ගම වූ යාපනය බලා අවසන් වරට පිටත් වනු ඇත. දක්ෂ ඉංජිනේරුවෙකු සිය ගමට පැමිණෙන තෙක් බලා සිටි ඒ අම්මාට සහ තාත්තාට අද ඉතිරිව ඇත්තේ කඳුළු වැලක් පමණි.
සොබාදහම ඇතැම් විට කෙතරම් රළු ද යත්, රටක් වටිනා ජීවිතයක් පවා එක් නිමේෂයකින් දිය රළක් මැද සඟවා දමන්නට එය මැලි වන්නේ නැත. මිතුසන්ගේ මේ අවාසනාවන්ත සමුගැනීම, මුළු මොරටුව සරසවියම කඳුළින් තෙත් කර ඇති තවත් එක් සංවේදී මතකයක් පමණක් වනු ඇත.