ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක්. විවිධ චරිත එක්ක ජනතාව අතරට ආවත් ඔහු වැඩිපුරම දකින්න ලැබෙන්නේ හාස්‍ය චරිත එක්ක. නිරන්තරයෙන්ම විහිළු කරමින් ඉන්න ගිරිරාජ් ගැන ඔහුගේ බිරිද කියන්නේ මෙහෙම කතාවක්.
ඔබ සහ ගිරිරාජ් කොහොමද හමුවුණේ?
අපි රැකියාව කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙ. ඉතිං එහෙදි තමයි අපි හමුවුණේ.
හමුවෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?
ඒ කාලෙත් ඉතිං එයා හැමෝම එක්ක හොඳට, විහිළු තහළු කරගෙන ඉන්න චරිතයක් විධියට තමයි මම හඳුනා ගත්තේ.
පෙම්වතා කාලෙදි ඔහු?
එහෙම විශේෂ වෙනසක් නැහැ. එකම විධිය තමයි.
සැමියෙක් විධියට ඔහු?
හරිම හොඳයි. ගෙදර දොරේ වැඩ ගැන බලන, දරුවො ගැන ගොඩාක් හොයලා බලන කෙනෙක්. ඔහු කොහොමත් ගෙදර වැඩවලට මුල් තැනක් දෙනවා.
ජනප්‍රිය චරිතයක් ලෙස ඔහු?
එහෙම වෙනසක් නැහැ. ජනප්‍රියයි කියලා වුණත් ඒක ලොකුවට හිතට අරන් ඉන්නෙ නැහැ. අහල පහළ අය එක්ක වුණත් හොඳට කතා කරනවා.
ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාන විධිය?
අපිටත් ඒක ගොඩක් වටිනවා. තැනකට ගියාම වුණත් අපිට වැඩිපුර සලකනවා.
සාමාන්‍ය ජීවිතයේ ඔහු?
හරිම විනෝදෙන් ඉන්න කැමැති, ආගම දහමට ළැදි පොඩ්ඩක් ඇත්නම් ඇඬෙන ගොඩක් සංවේදී චරිතයක්.
ඔහුට දුකක් දැනුණම කොහොමද හැසිරෙන්නේ?
පොඩි එක්කෙනෙක් වගේ අඬනවා.
සතුටු හිතුණාම?
ගෙදර තියෙන සංගීත භාණ්ඩ අරගෙන දරුවො එක්ක සින්දු කියලා විනෝදෙන් ඉන්නවා.
තරහ ගියාම?
එයාට සෑහෙන්න තරහ යනවා නම් තමයි.
ඔහු ජීවිතේ ප්‍රධාන තැනක් දෙන්නෙ මොනවටද?
දරුවන්ගෙ වැඩවලටයි, ගෙදර වැඩ කටයුතුවලටයි තමයි ප්‍රධාන තැනක් දෙන්නෙ.
වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද?
මම හිතන්නෙ එයාගෙ අම්මට.
ඔහුට නැතිවම බැරි අය කවුද?
ගෙදර අය තමයි.
ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?
දරුවො දෙන්නා කියලා කියන්න පුළුවන්.
ගිරිරාජ් මොන වගේ විලාසිතාවලටද කැමැති?
ගොඩක් විලාසිතා කරන්න කැමැති නැහැ. සාමාන්‍ය විධියට ඉන්න තමයි කැමැති.
වැඩිපුරම යන්න කැමැති තැන්?
අපිට නිදහසක් ලැබුණම නුවර දළදා මාලිගාවට යනවා. එහෙමත් නැත්නම් හෝටලයකට ගිහින් ඉඳලා එන්න යනවා.
ඔහුට ගැළපෙනම නිළිය?
වැඩිපුරම වැඩ කරන්නෙ පියුමි බොතේජු නංගි එක්ක තමයි. මොරින් චාරුණි අක්කත් එයාට ගැළපෙනවා.
විවිධ භූමිකාවල හිරවුණ ඔහුට පවුල සහ ඔබව මඟ හැරෙන්නෙම නැද්ද?
එහෙම නම් වෙන්නෙ නැහැ. එයා වැඩවල හිටියත් දුරකථන ඇමතුමක් දීලා හරි අපි ගැන නිතරම හොයලා බලනවා. එයා කොහෙ ගියත් ගෙදර එක්ක සම්බන්ධය තියෙනවා.
ගිරිරාජ් කියන්නේ වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඔව් උපරිමයෙන්ම පුළුවන්.
ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස් විධියට හිතන කෙනෙක්ද?
සීරියස්ව හිතනවා. දරුවන්ගේ වැඩකටයුතු, ඉදිරියේදී කරන්න ඕන වැඩකටයුතු එහෙමත් සැලසුම් කරලා කරනවා.
ඔහු ගැන අහන්න ලැබුණ සතුටුම හිතෙන ආරංචිය?
එයා අධ්‍යක්ෂණය කරපු සිකුරු හතේ චිත්‍රපටය ගොඩක් සාර්ථක වුණා. ඒක තමයි ගොඩක්ම සතුටු හිතුණ දේ.
ඔහු ගැන අහන්න ලැබුණ නරකම ආරංචිය?
තාම නම් එහෙම එකක් ලැබුණෙ නැහැ.
හදිසියේ හරි එහෙම ආරංචියක් ලැබුණොත්?
එතකොට ඉතින් ඒ වෙලාවට ඒක බලනවා.
ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?
ඔව්. ගොඩක් සතුටු වෙනවා.
ඔහුගේ විනෝදාංශ මොනවද?
චිත්‍රපට බලන්න යනවා. ඒ වගේම අපේ පාසල් කාලේ යාළුවො කට්ටියක් ඉන්නවා. අපි එයාලා එක්ක විනෝද ගමන් යනවා.
ඔහු ගැන බොහෝ අය නොදන්න රහස් මොනවද?
එයා රෝගීන්ට ගොඩක් උදවු කරනවා.
ඔහුට ජීවිතයේ මඟහැරුණ දේවල්?
ඉගෙනීමේ කටයුතු තව ඉදිරියට කරගෙන යන්න තිබුණා කියලා හිතෙනවා.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්