මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා විශේෂ මාධ්‍ය හමුවක් තියමින් කියන්නේ ඉදිරි මාස හය ඇතුළත ලංකාවේ මුළු වාහන අංක තහඩු අර්බුදයම සම්පූර්ණයෙන්ම විසඳන බවයි. එපමණක් නොවෙයි, ඉන් පස්සේ ලියාපදිංචි කරන ඕනෑම වාහනයකට සතියක් (දින 7ක්) ඇතුළත අතටම අංක තහඩුව ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරලා ඉවර බවත් ඔහු ප්‍රකාශ කළා.
කලින් කාලවල මේ ආයතනය ඇතුළේ දූෂිත නිලධාරීන් හිටියත්, තමන්ගේ පාලන කාලයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සුපිරිසිදු තැනක් බවට පත් කරන බවට කොමසාරිස් ජනරාල්වරයා සෘජුවම අනතුරු ඇඟවීමක් කළා. ඒ විතරක් නෙවෙයි, වේරහැර පැත්තේ ජනතාව අන්දලා මුදල් ගරන තැරව්කරුවන් (බ්‍රෝකර්ලා) අතුගා දමන්න මේ වන විටත් පොලිස් නිලධාරීන් යොදවා දැඩි රැකවල් දාලා තියෙන්නේ මහජනතාවට කිසිදු කරදරයක් නොවී වැඩේ කරගන්න ඉඩ හදන්නයි.
තවත් විශේෂ ආරංචියක් තමයි, ඉදිරියේදී මේ සේවා ලබාගන්න කොළඹටම දුවගෙන එන්න ඕන වෙන්නේ නැහැ. දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ සේවා ඉතා පහසුවෙන් ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.
මේ අතර, පාරේ දුවන මගී ප්‍රවාහන වාහනවල යෝග්‍යතාව ගැනත් දැඩි තීන්දු තීරණ අරන්. මගී ප්‍රවාහනය කරන හැම වාහනයක්ම කිලෝමීටර 5,000කට වරක් හෝ මාස තුනෙන් තුනට අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කළ යුතු බව ප්‍රකාශ වුණා. දැනටමත් පාරේ ධාවනයට කිසිසේත්ම නුසුදුසු වාහන රැසක් හඳුනාගෙන ඇති බවත්, අමාත්‍යාංශයෙන් අදාළ නීති ලැබුණු විගස ඒවාට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.