"මම යනකොට ලතා අම්මා ඇන්ජි අක්කව බලන්න ඇවිල්ලා"
"මටත් උවමනා කරලා තිබුණා මේ දෙන්නගෙ ඡායාරූප ටිකක් ගන්න"
දයාන් විතාරණ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වගේම ඡායාරූප ශිල්පයේ ප්‍රවීණයෙක් ලෙසයි හැමෝම හඳුනන්නේ.
මංගල ඡායාරූප ශිල්පියෙක් ලෙස වඩාත් ජනප්‍රියව සිටින දයාන් අපේ රටේ ජනප්‍රිය කලා ශිල්පීන්ගේ රුව කැමරාවට නගන්නත් දක්ෂයෙක් බව කවුරුත් දන්න දෙයක්නේ.
ඒ වගේම දයාන් දැනට ජීවතුන් අතර නැති සහ වර්තමානයේ අතිශයින් ජනප්‍රිය කලා ශිල්පීන්ගේ විවිධ මතක සටහන් එකතු කරන්නෙක්.
මේ කතාවත් දයාන් විසින් අපේ රටේ සිටින ප්‍රවීණ කලාකාරිනියක් වන ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් කළ වැඩක් ගැනයි.
ඉකුත් වසරේ දෙසැම්බර් විසිතුන් වැනිදා දයාන් විතාරණට හදිසියේම අපේ රටේ යුගයක් බැබළ වූ ඒ ගායිකාවකගේ උපන් දිනය සිහිපත් වුණා.
පසුව ඔහු මේ කලාකාරියගේ නිවෙසට යන්නට තීරණය කළා. මේ අපූරු සිදුවීම සම ගමන ගැන දයාන් විසින් පුවත්පතකට පැවසූ දේ පහතින් දැක්වේ.
“මට දෙසැම්බර් 23 දා උදේ මතක් වුණා අද ඇන්ජි අක්කගෙ උපන්දිනය නේද කියලා. (ඒ ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ජලින් ගුණතිලක.)මම මගේ මිත්‍ර අනුෂාන සමඟ ඇන්ජි අක්කා බලන්න ගියා. හරි පුදුමයි මම යනකොට ලතා අම්මා ඇන්ජි අක්කව බලන්න ඇවිල්ලා. (ඒ ගී ලොව ගී කෝකිලාවි ලතා වල්පොළ. දයාන් හඳුන්වන්නේ ලතා අම්මා නමින්.) වසර තිහකට ආසන්න කාලයක් මේ දෙන්නා හිත්නොහොඳ වෙලා හිටියේ. එත් ඉතාම මෑතකදි මේ දෙන්නා යාළු වුණා. “ අනේ ඇයි ලතා අපි තරහා වුණේ.,, ඒ යාළු වුණ දවසේ ඇන්ජි අක්කා ලතා අම්මගෙන් එහෙම අහලා තිබුණා.
එදා කොහොම හරි ලතා අම්මා ඇන්ජි අක්කලාගේ ගෙදර ඉන්න කොට මටත් ලොකු සතුටක් දැනුණා. මටත් උවමනා කරලා තිබුණා මේ දෙන්නගෙ ඡායාරූප ටිකක් ගන්න. එදා ගෙදර හිටියේ ඒ දෙන්නා විතරයි. ලතා අම්මා කේක් එකකුත් ගෙනැල්ලා තිබුණා. ලතා අම්මා තමයි මාල කරාබු දාලා ඇන්ජි අක්කව හැඩ කළේ. ලතා අම්මා එයාගෙ බෑග් එකේ තිබුණ ලිප්ස්ටික් ගාලා ඇන්ජි අක්කව ලස්සන කළා. ලතා අම්මගෙ බෑග් එකේ හැඩ වෙන්න ඕන හැම දෙයක්ම තිබුණා. මේ ලිප්ස්ටික් එක කියලා පෙන්නනකොට, ඇන්ජි අක්කා කියනවා අනේ ඒ පාට හරි නැහැ කියලා. එතකොට ලතා අම්මා තව පාටක් පෙන්වනවා. අන්තිමට දෙන්නම ඒ පාටට කැමති වෙනවා. ඒ දෙන්නා දිහා බලාගෙන හිටපු අපිට හරි සතුටුයි. මං එදා මේ දෙන්නගෙ හැසිරීම් දැක්කේ වයස අවුරුදු පහළොවේ දහසයේ කෙල්ලෝ දෙන්නෙක් ඉස්කෝලේ යන්නේ නැතිව ගෙවල් වලින් කට්ටි පැනලා ඇවිල්ලා කරන දඟකාරකම් වගෙයි..අනේ ලතා මං හරි වාසනාවන්තයි. ඔයාගේ අතින් මට හැඩ වෙන්න වාසනාව තිබුණනේ..කියලා ඇන්ජි අක්කා ලතා අම්මට කිව්වා.