ලබන වසරේ ජනවාරි මාසයේ සිට දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් වෙළඳපොළට නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඉන්දියාවේ සිට බිත්තර ආනයනය මේ මස 31 වනදා නවතා දැමීමට නියමිතව තිබුණත් වෙළඳපොළේ පවතින බිත්තර හිඟය සහ මිල ඉහළ යෑම හමුවේ ලබන වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා තම සංස්ථාවට බිත්තර ආනයනය සඳහා රජය අවසර ලබාදුන් බවයි.
එලෙස ගෙන්වනු ලබන බිත්තරයක් රුපියල් 35ක මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළා.
උත්සව සමයත් සමඟ වෙළඳපොළේ බිත්තර මිල මේ වනවිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් 42ත් 45ත් අතර, මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 60කට ආසන්න මුදලකටයි.
එමෙන්ම ඇතැම් ප්‍රදේශවල බිත්තර හිඟයක් ද පවතිනවා.
මෙවන් තත්ත්වයක් මත දේශීය බිත්තර නිෂ්පාදකයින් මෙලෙස අඛණ්ඩව අසීමිතව බිත්තර මිල ඉහළ දැමීම කළහොත් රජය ආනයනයට ගනු ලැබූ තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ ජා-ඇල ඊයේ(15) පැවති උත්සවයකට එක්වෙමින්.
කෙසේ වෙතත් සමස්ත ලංකා දේශීය බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් කියා සිටියේ තාවකාලික බිත්තර මිල ඉහළ යාමක් සිදුවුව ද ඉදිරියේ දී එය අඩුවනු ඇති බවයි.
එම නිසා බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඔහු සඳහන් කළා.