Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
“එයා ඉස්කෝලෙ යන කෙල්ලෙක් කියල මම දන්නේ නැහැ. එයා වෙන අයිඩෙන්ටියක් පෙන්නුවා කියලත් මම දන්නේ නැහැ. කාමරේදී ආපු කෝල් එකට එයා කලබල වෙලා තමයි පැන්නේ..." කළුතර පාසල් සිසුවියගේ මරණයේ මෙතෙක් හෙළි නොවූ රහස් මෙන්න...

- “එයා ඉස්කෝලෙ යන කෙල්ලෙක් කියල මම දන්නේ නැහැ. එයා වෙන අයිඩෙන්ටියක් පෙන්නුවා කියලත් මම දන්නේ නැහැ. කාමරේදී ආපු කෝල් එකට එයා කලබල වෙලා තමයි පැන්නේ..." කළුතර පාසල් සිසුවියගේ මරණයේ මෙතෙක් හෙළි නොවූ රහස් මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

කළුතර ලැගුම් හලක පස්වෙනි මහලින් බිමට වැටීමකින් මිය ගිය ටිහාරා නිර්මාණි සිසුවියගේ මරණය මිනිස් ඝාතනයක්ද? සියදිවි හානිකර ගැනීමක්ද? යන්න ගැන ඇත්තේ තවමත් අබිරහසක් ලෙසිනි. 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම විමර්ශන පැවරීමට පවා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පියවර ගන්නට ඇත්තේ කළුතර දකුණ පොලිසියට තනිවම ඒ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට නොහැකි බව වටහාගෙන විය හැකිය. පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නේ මෙම මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන මතුපිටින් නොබලා ගැඹුරින් සිදු කරන ලෙසය.

ටිහාරා නිර්මාණිගේ අබිරහස් මරණය ගැන මුල සිටම විමර්ශන පවත්වනු ලැබුවේ කළුතර දකුණ පොලිසියේ නිලධාරීන්ය. ඒ කළුතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාසගේ අධික්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ මෙහෙයැවීමෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

ඇඟේ නූල් පොටක්වත් නොමැතිව පසුගිය 06 වෙනිදා රාත්‍රී කාලයේ දුම්රිය මාර්ගය ආසන්නයේ බිම වැටී තිබුණු ටිහාරාගේ සිරුර පොලිසිය සොයා ගන්නේ ද පොලිසියට ඒ ගැන ලබාදුන් දුරකතන ඇමතුමකට අනුවය. අසල ලැගුම්හලේ ආහාර ගනිමින් සිටි කතක් දුම්රිය මාර්ගය මත තිබුණු සිරුරක් යුවළක් විසින් ඔසවා දුම්රිය මාර්ගයෙන් ඉවත් කරනු දැක ඒ බව සේවකයකුට පැවසීමේ ප්‍රතිඵලයක් ලෙස එම ඇමතුම පොලිසියට අවේ යැයි කියැවෙති. එම කාන්තාව දුටු දේම ලැගුම්හලේ ඉහළ මහලක රැඳී සිටි එහි සේවකයෙක් ද දැක ඇති බව ද පැවසේ. කියැවෙන ආකාරයට අනුව ඒ අයගෙන් පවා මේ වන විට පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන හමාරය.

මෙසේ නිරුවතින් මියගොස් සිටින්නේ ටිහාරා නිර්මාණි නැමැති සිසුවියක් බවත් ඇය කළුතර නාගොඩ පදිංචිකාරියක් බවත් කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් සොයා ගන්නේ සිරුර හමුවී පැය කිහිපයක් යන්නට මත්තෙනි. එ

කළුතර දකුණ පොලිසිය විසින් සිය විමර්ශන ඔස්සේ හෙළි කරගත් තොරතුරුවලට අනුව ටිහාරා නිර්මාණිගේ මරණය සිදුව ඇත්තේ ඇගේ මළ සිරුර හමු වූ ස්ථානයේ පිහිටි සිසිලියන් වෝක් ලැගුම්හලේ පස්වෙනි මහලේ ඇති කාමරයක ජනේලයකින් බිමට වැටීය. ඇයව බිමට දමා මරා දැමුවේද? නැතිනම් ඇය බිමට පැන සියදිවි හානිකර ගත්තේද? යන්න ගැන ඇත්තේ තවමත් ප්‍රශ්නාර්ථයකි.

ටිහාරාගේ සිරුර හමුවන විටත් එම කාමරයේ ජනේලය තිබෙන්නේ විවෘතවය. ඇලුමිනියම් ආවරණයක් සහිත වීදුරු ජනේලයක් වන එය පස් වෙනි මහලේ බිම් මට්ටමේ සිට අඩි තුනක් පමණ උසකින් යුක්ත වූවකි. ඇය බිමට වැටීම පය ලිස්සීමකින් සිදුවූ අනතුරක් හෝ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් නොවන බව මෙන්ම ඇයව උස්සා විසි කළාද? ඇය එම ජනේලයෙන් පැන්නාද?යන ප්‍රශ්නය මතුවන්නේ ඒ නිසාමය.

කළුතර දකුණ පොලිසියේ විමර්ශකයන් සොයාගත් තොරතුරුවලට අනුව ටිහාරා මෙම ලැගුම්හලට එන්නේ තනිවම නොව තවත් තිදෙනෙක් සමඟිනි. ඒ ජෝඩු දෙකක් ලෙසිනි. මෙම ලැගුම්හලට මෙවැනි අය පැමිණීම එතරම් අරුමයක් නොවන්නේය.

එදා මේ ජෝඩු දෙක ලැගුම්හලට ඇතුළු වී ඇත්තේ සවස 6.20ට පමණය. ඒ එහි පස්වෙනි මහලේ ඇති කාමර දෙකක් වෙන් කරගෙනය. ඒ එක් කාමරයක් වායුසමීකරණය කළ එකක් වන අතර, අනෙත් කාමරය වායුසමීකරණය නොකළ සාමාන්‍ය කාමරයකි. මේ ජෝඩු දෙක වායුසමීකරණය කළ කාමරයට වී මත්පැන් බොමින් සිට ඇති බව ද මූලික විමර්ශනවලින්ම කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් හෙළි කර ගත්තේය. ඒ ලැගුම්හලේ ආරක්ෂක කැමරා දර්ශන හා සේවකයන්ගේ ප්‍රකාශ මතය. ඒ හැරුණු කොට කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් ආරක්ෂක කැමරා දර්ශන ඇතුළු විමර්ශන තොරතුරු ඔස්සේ තවත් බොහෝ දේ අනාවරණය කර ගත්තේය.

ලැගුම්හලට ආ ජෝඩු දෙක අතරෙන් එක් ජෝඩුවක් වේලාසනින්ම ලැගුම්හලින් පිටව ගොස් ඇති බව ද හෙළිවන්නේ ඒ ඔස්සේය. එසේ ලැගුම්හලින් කල්තියා පිටව යන්නේ ටිහාරා නොවන බව ආරක්ෂක කැමරා දර්ශනවලින් මනාවට පැහැදිලි විය.

එම ජෝඩුව ලැගුම්හලින් පිටව ගොස් තවත් සුළු වේලාවකින් අනතුරුව කලබලයෙන් මෙන් ලැගුම්හලින් පිටව යන්නේ හැඩිදැඩි පුද්ගලයෙකි. ඔහු ටිහාරා ඇතුළු පිරිස සමඟ ලැගුම්හලට ආ අනෙකාය. ඔහුගේ කලබල ගමන හා ටිහාරාගේ මළ සිරුර ලැගුම්හල පිටුපස දුම්රිය මාර්ගය අසල තිබී හමුවීම අතර යම් සම්බන්ධයක් ඇතැයි කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් පැහැදිලිවම හඳුනා ගත්තේය. පස්වෙනි මහලේ කාමරය පරීක්ෂාවට ලක් කරන්නේ ඒ අනුවය. නිරුවත්ව වැටී සිටි ටිහාරාගේ ඇඳුම් එම කාමරයේ තිබී හමුවන්නේ එහිදීය. ඒ වන විටත් කාමරයේ ජනේලය තිබෙන්නේ විවෘතවය. එම ජනේලය ඇත්තේ දුම්රිය මාර්ගය පැත්තේය. ඒ තුළින් බිම බලන විට කළුතර දකුණ පොලිසියේ නිලධාරීන්ට පැහැදිලි වන්නේ ඇගේ සිරුර දුම්රිය මාර්ගය ආසන්නයේ බිම තිබී හමුවන්නේ මෙම කාමරයේ සිට බිමට වැටීමෙන් බවය. ඒ අනුව කළුතර දකුණ පොලිසියේ නිලධාරීන්ට මෙහිදී විසඳීමට ගැටලුවක් ගොඩනැඟෙන්නේ ඇය පස්වෙනි මහලේ සිට බිමට වැටුණු හැටි ගැනය. එහිදී හෙළි වන්නේ ටිහාරා එදින ලැගුම්හලට ගොස් ඇත්තේ ඇගේ අසල්වැසි­‍ෙයක් වූ පබාරා මාවින්දි සමඟ බවය. ඇය 19 හැවිරිදි තරුණියකි. ඇය සිටින්නේ පාසල් ගමන හමාර කොටය. ටිහාරාගේ මව පවසන්නේ පබාරා යනු එතරම් හොඳ චරිතයක් නොවන බවය. ඒ නිසාම සිය දියණියට ඇය සමඟ ඇසුරු නොකරන ලෙස අවවාද පවා කර ඇති බව ඇය කියන්නීය.

ටිහාරා පවුලේ එකම දරුවා නොවූවාය. ඇගේ පියා ත්‍රිරෝද රථ රියැදුරෙකි. මව නිවෙසේ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන්නියකි. ඒ පාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වෙන උපකාරක පන්තියක් ලෙසිනි. ටිහාරගේ මව පවසන්නේ එදා සවස නිවෙසට පැමිණි පබාරා ඇයව කැඳවා ගෙන ගියේ දන්සලකට යන බව කියාය. පබාරා සමඟ ඇය දන්සලට යනවාට මව එතරම් කැමැත්තක් ද දක්වා නැත.

ඇය එදා දන්සලට යනවා යැයි කියා පබාරා සමඟ නිවෙසින් පිටත්ව ගොස් ඇත්තේ නිවෙසට හැඳ සිටි ඇඳුම පිටිනි. ඒ බව කියන්නේ ඇගේ මවය. ටිහාරා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි සිසුවියකි. ඇගේ මව පවසනුයේ උපකාරක පන්තියකට ද ටිහාරාට එදින රාත්‍රියේ සහභාගී වීමට නියමිතව තිබුණු බවය. දන්සලට යනවා යැයි කියා ඇය යන්නේ ද එම පන්තියට සහභාගී වීමට අවශ්‍ය පොත්පත් සියල්ලක්ම සකස් කර තබා බව ද ඇය කියන්නීය. ඒ අනුව සැකයට තුඩු දෙන්නේ උපකාරක පන්තියකට පවා සහභාගි වීමට සූදානමින් සිටි ඇය ලැගුම්හලකට ගොස් මත්පැන් පවා පානය කර කාමරයක පිරිමියෙක් සමඟ කාලය ගත කරන්නට යන්නට තරම් මෝඩි‍යෙක් දැයි කියාය.

දන්සලට ගිය ටිහාරා නිවෙසට ඒමට ප්‍රමාද වන්නට වූ බැවින් මව ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන ඇත. එහිදී ටිහාරා මවට පිළිතුරු දී ඇත්තේ තමා දන්සලේ රැඳී සිටින බවය. ඊට පසු නැවත දුරකතන ඇමතුමක් සිය දියණියට ඇය ගෙන ඇත්තේ රෑ බෝ වෙමින් තිබුණු බැවින් සහ උපකාරක පන්තිය ද මඟ හැරෙන්නට වූ බැවිනි. එවර ඇගේ දුරකතනය තිබී ඇත්තේ විසන්ධි වීය. ඒ අනුව පැහැදිලි වන්නේ ඇගේ ජීවිතය මාරයා විසින් ඩැහැගෙන ඇත්තේ ඒ කාලය තුළදී බවය.

ටිහාරා ගැන තොරතුරු සොයා බැලීමේදී හෙළි වන්නේ ඇය පාසල් දෙකකම අධ්‍යාපනය ලැබූ තැනැත්තියක් බවය. ඒ හැම පාසලකම ඇය මිතුරියන් ලෙස ඇසුරු කර ඇත්තේ තමාට වඩා වැඩිමහල් සිසුවියන්වය. එදා ටිහාරාව ලැගුම්හලට රැගෙන ගිය පබාරා ද ඇගේ මිතුරියකි. එම මිතුරිය පවා ඇයට වඩා වසර තුනකින් වැඩිමහල්ය.

ටිහාරාව එදා ලැගුම්හලට ගෙන ගිය අය අතර පබරාගේ පෙම්වතා ද සිටියේය. ඔහු ඉෂාන් තිනුරය. 22 හැවිරිදි වියේ පසුවූ ඔහු පදිංචිව සිටියේ කළුතර විලේගොඩය. කළුතර දකුණ පොලිසියේ විමර්ශන නිලධාරීන් ඉෂාන්ව හඳුනා ගන්නේ ඔහු පබාරා සමඟ පොලිසියට විත් 07 වෙනිදා භාරවීමෙන් අනතුරුවය. පොලිසියට ගොස් භාර වෙන්නට ඔවුන් දෙදෙනා තීරණය කරන්නේ ටිහාරාගේ නිරුවත් මළ සිරුර ගැන මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමඟ සැඟවී සිටීමෙන් ඵලක් නොවන බව බටහාගෙනය.

එදා මේ අය සමඟ ලැගුම්හලට ගිය සිව්වැන්නාව පොලිසිය හඳුනා ගන්නේ ඉෂාන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේය. ඔහු ඉෂාන්ගේ මිතුරෙක් වූ ධනුෂ්ක ගයාන් සහබන්දු ය. වයස අවුරුදු 29ක් වූ ඔහු පදිංචිව සිටියේ කළුතර පලාතොට කුලියට ගත් නිවසකය. ඒ සිය බිරිය සමඟිනි. බිරිය යැයි කීවාට ඇය ඔහුගේ දෙවැනි විවාහක බිරියය. පළමු විවාහක බිරිය ජීවත් වූයේ ගාල්ල පැත්තේය. දෙවැනි විවාහය ඔහු කරගෙන ඇත්තේ පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වීමකින් තොරවය. කියැවෙන ආකාරයට අනුව ඔහු දෙදරු පියෙකි. ඒ පළමු විවාහයෙනි. දෙවැනි විවාහයෙන් ඔහුට දරුවන් සිටින බවක් අනාවරණය වන්නේ නැත.

කළුතර දකුණ පොලිසියේ විමර්ශන නිලධාරීන් එදා ලැගුම්හලට ටිහාරා සමඟ ගිය තිදෙනාවම ඒ අනුව පැහැදිලිවම හඳුනා ගත්තේය. ටිහාරාගේ මරණය සිදුවන විට ඇය සමඟ කාමරයේ රැඳී සිට ඇත්තේ ද ධනුෂ්කය. ඔහු මෙරට ප්‍රධාන පෙළේ කල්බදු සමාගමක සීසර්වරයෙකි. ඒ හැරුණු කොට ධනුෂ්ක මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක ද නිරතව සිටියේය. ඒ නිසාම ඔහුගේ අතමිට යහමින් මුදල් ද ගැවසෙමින් තිබී ඇත. ඉෂාන් හා ඔහු අතර හිතවත්කම ගොඩනැඟෙන්නේ ද ඉෂාන්ගේ පවුලේ ඥාතියෙක් ධනුෂ්ක සමඟ මුදල් ගනුදෙනුවක් කර තිබුණු බැවින් ඒ ඔස්සේ පැවති දැන හැඳුනුම්කම් මතය.

ප්‍රශ්න කිරීම් හමුවේ පබාරා සහ ඉෂාන් බොහෝ දේ පොලිස් විමර්ශකයන් හමුවේ වැමෑරුවෝය. එහිදී විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේ ධනුෂ්කගෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ටිහාරාව ඔහුට අලෙවි කිරීමක් පබරා හා ඉෂාන් එක්ව කර ඇති බවය. ටිහාරාව ලැගුම්හලට රැගෙනවිත් තිබුණේ ද ඇයව රවටාය.

නිවෙසින් සවස 5.00ට එළියට ආවත් ලැඟුම්හලට මේ අය එන්නේ සවස 6.20ට පමණය. ඒ එන්නේ ද ධනුෂ්ක විසින් පරිහරණය කරමින් සිටි කුලියට ගත් මෝටර් රථයේ නැඟීය. ටිහාරාත් පබාරාත් මෝටර් රථයට ගොඩ වෙන්නේ අතරමඟිනි. ඒ එන විට ධනුෂ්ක රට බීම බෝතලයක් ද රැගෙනවිත් තිබුණේය. එම රට බීම බෝතලය හිස් කරන්නට කටගැස්ම ලබා ගන්නේ ලැගුම්හලේ ඇති අවන්හලින් ඇණවුම් කරමිනි. පබාරා සහ ඉෂාන් පොලිසිය හමුවේ කියන්නට වූ හැටියට ටිහාරා ද පුරුදුකාරියක් ලෙස එදා මත්පැන් වීදුරුවක් දෙකක් කටට හලාගෙන ඇත්තේය. ඇය මත්වන විට ධනුෂ්කත් සමඟ ඇයව කාමරයේ තනිකර එතැනින් මාරු වෙන්නට තරම් පබාරාත් ඉෂානුත් සූක්ෂම වී ඇත. ඒ යන්නේද වෙන් කරගත් දෙවැනි කාමරයට ඔවුන් දෙදෙනා ටික වේලාවකට යන බව ටිහාරාට කියාය. ඉන් එහාට කාමරයේ සිදුවූ කිසිවක් කියන්නට පබාරා සහ ඉෂාන් දැන සිටියේ නැත. එදා ඔවුන් දෙදෙනා ටිහාරාව ධනුෂ්කට බිලිදෙමින් මාරුවී යන්නේ වෙන් කරගත් කාමරයට නොව, ලැගුම්හලෙන් පිටතටය.

ටිහාරාව එසේ ධනුෂ්කට බිලි දී එළියට ආ ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් නිදහසේ ඉන්නට ඉඩක් නොවීය. ඉෂාන්ගේ ජංගම දුරකතනයට ධනුෂ්කගෙන් ඇමතුමක් එන්නේ ටිහාරා ජනේලයකින් බිමට පැන්නා යැයි කියාය.

“ඉක්මනට වරෙන්. මොනවා කරන්න ද කියල මට තේරෙන්නේ නැහැ“ යැයි ධනුෂ්ක එහිදී කී බව ඉෂාන් කියයි.

ඒත් එක්කම එම ජෝඩුව ලැගුම්හල අසලට දිව අවේය. ධනුෂ්ක ද ඒ වන විටත් සිටියේ ලැගුම්හලින් පිටතට පැමිණය. ඇගේ මළ සිරුර වැටී තිබුණු තැන පෙන්වන්නට වූයේ ධනුෂ්කය. ටිහාරාගේ මළ සිරුර වූයේ දුම්රිය මාර්ගය මතය. “අපි ඔක්කෝම අමාරුවේ වැටෙනවා. ඕක හංගපන්“ යැයි ධනුෂ්ක කෑමොර දෙන්නට ගත්තේය. එහෙත් ඔහු මළ සිරුර ළඟටවත් කිට්ටු නොවීය. ඒ වන විටත් ධනුෂ්ක සිටියේ ලොකු කලබලයකිනි. කරන්නේ කියන්නේ කුමක් දැයි ඔහුටම වැටහීමක් නැති ගානටය. ධනුෂ්ක එසේ කලබලයෙන් විකාර කියවමින් සිටින විට දුම්රිය මාර්ගය මත තිබුණු ටිහාරා ගේ මළ සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කර අයිනක තබන්නේ පබ­ාරාත් ඉෂානුත් එක්වය. ඒ දුම්රියක් ගමන් කළහොත් ඇගේ සිරුරට හානිවේ යැයි දුක සිතාය.

ටිහාරාගේ මළ සිරුර එසේ දුම්රිය මාර්ගයෙන් ඉවත් කර ලැගුම්හලත් දුම්රිය මාර්ගයත් අතර අඩි පාරේ තබා ඉෂාන් පබාරාවත් රැගෙන යන්නේ විල්ගොඩ නිවෙසටය. ඒ යන විට ධනුෂ්ක විසින් ජංගම දුරකතනයක් තමා අත තැබූ බව ඉෂාන් කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසුවේය. එම ජංගම දුරකතනය ටිහාරාගේය. එය විසි කළේ යැයි කියන්නේ කළුගං මෝයටය.

ජංගම දුරකතනය කළුගංමෝයට විසි කර පබාරා කැටුව වි‍ෙල්ගොඩ පිහිටි නිවෙසට ඉෂාන් යන විට ධනුෂ්ක පලා යන්නේ දකුණටය. ඒ කුලී මෝටර් රථයේ නැඟී ගැලනිගම අධිවේගී පිවිසුම ආසන්නයට ගොස් මෝටර් රථය එහි දමා වෙනත් වාහනයක නැඟීය. ඒ යන අතරතුර ඔහු සිය හිතවතකුට දුරකතන ඇමතුමක් දෙමින් පවසන්නේ මෝටර් රථය එම ස්ථානයෙන් රැගෙන යන ලෙසය. ඒ එහි යතුර සඟවා ඇති තැන ගැන ද කියමිනි.

ධනුෂ්කගෙන් ලද එම ඇමතුමට අනුව ගැලනිගමට ගොස් මෝටර් රථය රැගෙන ආ ධනුෂ්කගේ හිතවතාට ද සිදුවන්නේ පොලිස් අත්අඩංගුවට පත්වන්නටය. ඒ ධනුෂ්කට පලා යාමට ආධාර හා අනුබල දීමේ වරදටය. ඒත් එක්කම බේරුවල වලතර ප්‍රදේශයේ තිබී එම මෝටර් රථය ද කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් සිය භාරයට ද ගත්තේය.

එසේ එම මෝටර් රථය සොයා ගැනීමටත් එය ගැලනිගම සිට පදවා ගෙන ආ ධනුෂ්කගේ හිතවතා අත්අඩංගුවට ගැනීමටත් තිබුණු උනන්දුවක් මෙම අපරාධයය සිදු වූ ලැගුම්හලේ හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට මුලදී නොවීය. ඒ මෙම ලැගුම්හල් හිමිකරුවන් හා පොලිසියේ ඇතැම් නිලධාරීන් අතර ඇති යම් හිතවත්කමක් හෝ ඊට එහා ගිය සම්බන්ධයක් නිසා දැයි පැන නැඟෙන්නට වූයේ බලවත් සැකයකි. ඒ හැමවිටම ලැගුම්හල පැත්ත ගැන සොයන්නට වැඩි උනන්දුවක් පෙනෙන්නට නොවූ බැවිනි.

ටිහාරා යනු වයස අවුරුදු 18 පිරී නැති ළමයෙකි. 18ට අඩු ළමයකුට අපයෝජනයක් කිරීමට යම් පරිශ්‍රයක් ලබාදීම දණ්ඩ නීති සංග්‍රහයේ 2016 වසරේ සිදුවූ සංශෝධනයේ 286 (ඇ) (1) යටතේ සැලකෙන්නේ බරපතළ ගණයේ වරදක් ලෙසිනි. එසේ තිබියදීත් විමර්ශන නිලධාරීන් ලැගුම්හලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය 11 වෙනිදා දක්වාම කල්මැරුවේය. එය සාධාරණය කිරීමට බොහෝ කතා එළියට ආවේය. ටිහාරා විසින් අවුරුදු 23ක කාන්තාවගේ හැඳුනුම්පතක් ලැගුම්හලට ඉදිරිපත් කර ඇති බව ඒ අතර වූ එක් කතාවකි. තවත් කතාවකින් කියැවුණේ එම හැඳුනුම්පත ටිහාරාගේ අසල්වැසි නිවෙසක තරුණියකගේ බවය. මෙහි ඇත්ත නැත්ත ගැන දන්නේ ඒවා ගැන කියන අය පමණි. ලැගුම්හල් බලධාරීන් එම අවස්ථාවේදී නිසි ලෙස හැඳුනුුම්පත් පරීක්ෂා කර අනන්‍යතාව තහවුරු කර ගත්තේ නම් ඇය රැගෙන ආවේ යැයි කියන හැඳුනුම්පත ඇගේ නොවන බව තහවුරු වන්නේ ඒ මොහො­‍ෙත්මය. එසේ නම් ටිහාරාට මෙවැනි අනතුරක් වන්නට තිබුණු ඉඩකඩ බොහෝදුරට වැළකෙනු ඇත. මේ දේවල් ගැන සොයන්නට තරම් උනන්දුවක් විමර්ශන නිලධාරීන්ට මුලදී තිබුණේදැයි ඇත්තේ සැබෑ ලෙසම ගැටලුවකි. ඒ ගැන පොලිසියේ ළමා හා කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අංශවලට පවා ගෙන දුන්නේ ගැටලුවකි. එම නිලධාරීන් මේ ගැන නිහඬ සටනක් ගෙන යන්නට වූයේ විමර්ශන හරි මඟ යන්නේ දැයි සැකසංකා මතු කරමිනි. ටිහාරගේ මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පොලිස්පතිවරයාට යම් තීන්දුවක් ගැනීමට පවා සිදුවන්නේ ඒ දේවල් නිසා වන්නට හැකිය. කෙසේ වෙතත් අවසානයේදී පසුගිය 11 වෙනිදා හිටිහැටියේම ලැගුම්හලේ හිමිකරුගේ බිරියව කළුතර දකුණ පොලිස් ස්ථානයට කැඳවා ඇයව අත්අඩංගුවට ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි විමර්ශන භාර ගන්නවාත් සමඟිනි.

එදා ලැගුම්හලේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස සිටියේ යැයි කියන්නේ ඇයයි. ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ එදින නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරු කර ගැනීමක් ද නොකර බාලවයස්කාරියක් අපයෝජනය කිරීමට සිය පරිශ්‍රය ලබාදීම සම්බන්ධයෙන් සැකපිටය. ඒත් එක්කම දැන් ලැගුම්හල ගැනද වෙනම විමර්ශනයක් ආරම්භ වී ඇත්තේ එහි ඉදිකිරීම් සහ ලැගුම්හලක් ලෙස එම ගොඩනැගිල්ල පවත්වාගෙන ගියේ කෙසේ දැයි කියයා. හැමෝටම දැන් ඒ දේවල් සොයා බලන්නට මතක් වී ඇත්තේ ද ටිහාරාගේ මරණයත් සමඟ සමාජය තුළ දැඩිව ඒ ගැන කතාබහක් ඇති වන්නට පටන් ගැනීම නිසාය.

ටිහාරාගේ මරණයේ ප්‍රධාන සැකකරු වූ ධනුෂ්ක කොටුකර ගැනීම ද කළුතර දකුණ පොලිසියේ විමර්ශන නිලධාරීන්ට මුලදී එතරම් පහසු කටයුත්තක් නොවීය. සිය ජංගම දුරකතන පවා අක්‍රිය කරගෙන සැඟවී සිටි ධනුෂ්ක කොටුකර ගැනීම දිනෙන් දින ප්‍රමාද වන විට ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවේ යැයි කියනුයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ය. ඒ මෙම සිදුවීමත් සමඟ සමාජයේ ඒ ගැන ඇති වූ කැළඹීම කෙරහි විශේෂ අවධානයක් යොමු කරමිනි. මහජන ආරක්ෂක අමාත්‍යාංශ පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව ටිරාන් අලස් අමාත්‍යවරයා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසානයේදී තීන්දුවක් ගෙන ඇතැයි කියන්නේ පලාගොස් සැඟවී සිටි ධනුෂ්ක කොටුකර ගැනීමට මුහුණු පොත ඔස්සේ ඔහුගේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමටය. ඒ ඔහුව අල්ලා ගැනීමට එය ඉවහල් වනු ඇතැයි සිතාය.

මෙතෙක් කලක් මෙවැනි සැකකරුවන්ගේ හෝ අපරාධකරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරනු ලැබුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හරහා නිල නිවේදනයක් ලෙසිනි. නමුත් ඉතිහාසයේ පළමු වරට පොලිසිය භාර අමාත්‍යවරයකුගේ මැදිහත් වීමෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ ධනුෂ්කගේ ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමට පටන්ගෙන පැය කිහිපයක් යන්නට මත්තෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශේෂත්වයකි. ඒ නොවන්නට තාමත් පොලිසිය ධනුෂ්ක සොයමින් සිටිනු ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළා යැයි කියනුයේ ධනුෂ්ක අවන්හලක මත්පැන් බොමින් සිටින ඡායාරූපයකි. මත්පැන් වීදුරුවක් අතින් දරා සිටින ඔහුගේ අත පිරෙන්නට වම් අතේ ඇත්තේ ලොකු පච්චයකි. හැඩි දැඩි සිරුරකට උරුමකම් කී මෙම සැකකරුගේ අතේ ඇති පච්චයත් සමඟ ඔහුව හඳුනා ගැනීමට ඕනෑම අයකුට එතරම් අපහසු නැත. පොලිසිය පැත්තෙන් කියැවෙන්නේ මුහුණු පොතේ හුවමාරුවූ එම ඡායාරූපය දුටු පුද්ගලයෙක් විසින් සැකකරු සැඟවී සිටින ස්ථානය ගැන තොරතුරක් පොලිසියට ලබා දුන්නේ යැයි කියාය. විශේෂත්වයක් වන්නේ එම තොරතුරුකරු කළුතර දකුණ පොලිසියේ නිලධාරියෙක්ටම ඔහු දන්නා කියන අයෙක් විසින් දුරකතන ඇමතුමකින්ම ලබාදී තිබීමය. ඒ අනුව කළුතර දකුණ පොලිසියේ විමර්ශන නිලධාරීන් විසින් ධනුෂ්කව අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණේ ඔහු සැඟවී සිටි තැනින් එළියට විත් මෝටර් රථයක නැඟී ගමන් කරමින් සිටියදී හික්කඩුව ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා ඔහු ගමන් කළ මෝටර් රථය පරීක්ෂාවට ලක්කරමින් එකවර කෙනකුට කියූ සැණින් විශ්වාස කළ නොහැති තරමේ අපූරු මෙහෙයුමක් දියත් කරමිනි. ඒ 10 වෙනිදා අලුයම් කාලයේදීය.

පොලිසිය පැත්තෙන් කියන ආකාරයට අනුව ධනුෂ්කව අත්අඩංගුවට ගන්නේ එසේ මෙසේ මහන්සියක් දරා නොවීය. එසේ අල්ලා ගත් ධනුෂ්කගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබීය. ප්‍රශ්න කරන්නට කාලය මදිකම නිසාම පැය 48ක් රැඳවුම් නියෝගයක් ද ලබා ගත්තේය. ඒ යැයි කියා තාමත් ටිහාරාගේ මරණය සිදු වූ හැටි ඇත්ත එළියට ඇවිත් යැයි කියන්නට බැරිය. ධනුෂ්ක පුන පුනා කියන්නේ ඇය ජනේලයෙන් බිමට පැන්න බවකි.

ධනුෂ්ක පොලිසිය හමුවේ කියා ඇත්තේ එදා රෑ දෙදෙනා කාමරයේ සිටියදී ටිහාරාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආ බවය. එම ඇමතුමට ඇය තරමක් කලබල වූ බව ද ඔහු කියන්නේය.

“තෝ මාව කෑවා. කැත වැඩ කරන්න එපා යකෝ“ වැනි වදන් කියමින් ඇය ප්‍රකෝප වෙමින් හැසිරුණු බව ද ධනුෂ්ක පොලිස් ප්‍රශ්න කිරීමේදී කියා ඇත.

ඇය ජනේලය අසලට ගොස් එතැන තිබුණු පුටුවකට නැඟ ජනේලය විවෘත කර එකවරම ඒ තුළින් බිමට පැන ඇත්තේ එසේ කෑමොර දෙමින් බව ධනුෂ්ක කියයි.

මේ මොහොත වන විට කාමරයේ සිටින්නේ ධනුෂ්කත් ටිහාරාත් පමණි.දෙදෙනාම සිටියේ යැයි කියනුයේ නිරුවතිනි. ධනුෂ්ක කියනුයේ දෙදෙනා එකට එක්නොවූ බවය. එය ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ද තහවුරු වී හමාරය. ඒ හැරුණු කොට ඇය තවත් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වූ බවට සාධක පවා පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනී ගොස් ඇති බව කියැවෙති. එසේය ඇගේ සිරුරේ හැපීම් පහරවල් කිහිපයක් ම තිබී ඇත. ඒවා එදා සිදුවූ ඒවාද. එය බලහත්කරයෙන් සිදු වූවක්ද? නැතිනම් ඇගේ කැමැත්ත මත සිදුවූ ක්‍රියාවක් දැයි පැහැදිලි නැත. ධනුෂ්ක පවසන්නේ තමාට ඇය සමඟ එකට සිටීමට නොහැකි වූයේ ඔහුට පැන නැඟුණු යම් ගැටලුවක් නිසා බවය. ඒ තුළින් ඔහු කියන්නට උත්සාහ දරන්නේ ඔහු යම් ලිංගික දුබලතාවකින් පෙළෙන බවකි. ඒ නීතියෙන් රිංගීමේ මඟක් විය හැකිය. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ ධනුෂ්ක පොලිසියට හසුවන්නේ ටිහාරගේ මරණින් දින කිහිපයකට පසුව බවය. ඒ කාලය තුළ ඔහුට නීති උපදෙස් ගන්නට ඕනෑ තරම් හැකියාව මෙන්ම ඉඩකඩ ද පැවතුණේය. ඔහු මේ දේවල් කියන්නේ නීතිය හමුවෙන් ගැලවෙන්නට අවශ්‍ය වාතාවරණය ගොඩ නඟා ගැනීමට ද විය හැකිය. ඇතැම් විට ඔහු යම් මත්ද්‍රව්‍යක් හෝ වෙනත් ඖෂධයක් භාවිත කර සිහිවිකල් තත්ත්වයෙන් ඇයව ජනේලයෙන් පිටතට විසි කරන්නට ඇතැයි යන තර්කයක් පවා ගොඩනැඟිය හැකිය. ඒ එවැනි දේවල් සිදුවන්නට ඇති අවස්ථා ඕනෑතරම් තිබිය හැකි බැවිනි. එවැනි දෙයක් එදා සිදුවී තිබුණේ නම් ඒ ඇය ධනුෂ්ක සමඟ එකට සිටීමට එකඟ නොවීම නිසා ද විය හැකිය. නැතිනම් ඔහුට ඇය සමඟ එකට සිටීමට නොහැකිවූ බැවින් ඇතිවූ ආවේගයකට එවැනි දෙයක් සිදු කළා යැයි සැකයක් ද මතුකරන්නට පුළුවනි. එසේ නොමැතිව ඇය පැන්නා යැයි සැකකරුගේ ප්‍රකාශ මත පදනම්ව තීන්දු තීරණවලට එළඹිය නොහැකිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට මෙම විමර්ශනය පැවරෙන්නේ ඒ දේවල් ගැනත් විවෘත මනසකින් විමර්ශනයක් කරන්නටය.

දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ධනුෂ්ක පවසා ඇති ආකාරයට අනුව ටිහාරාව ඔහුට මුණ ගැසෙන්නේ පළමු වතාවටය. ඇයව ඔහුට මුණ ගස්සවා ඇත්තේ ඉෂාන්ය. ධනුෂ්ක පවසන ආකාරයට අනුව එදා උදේ වරුව ඔහු රැඳී සිට ඇත්තේ කළුතර පිහිටි ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකය. ඒ වෛද්‍යවරයෙක් චැනල් කරන්නට පැමිණය. ඉෂාන්ගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබී ඇත්තේ එහිදීය.

“පොඩි ෂූටින් එකක් තියෙනවා. කෙල්ලෙක් ඉන්නවා. අපිට පොඩි චූන් එකක් ගන්න පුළුවන්“ ඉෂාන් එහිදී ධනුෂ්කට පැවසුවේ යැයි කියන්නේ එවන් කතාවකි.

සැබෑ ලෙසම එවන් දෙයක් කීවේ දැයි දන්නේ ඔවුන් දෙදෙනා පමණි. දැන් ඔවුන් දෙන්නාම සිටින්නේ බන්ධනාගාරගතවය. මේවා ඇත්ත දැයි දැන ගැනීමට නැවතත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට සිදුවන්නේ බන්ධනාගාරයට ගොසිනි.

ඉෂාන් විසින් ඒ කියා තිබුනේ ටිහාරා ගැනය. ධනුෂ්ක ඇයව බලන්නට කල්වේලා ඇතිව ඉෂාන් සමඟ ඇගේ ගෙවල් පැත්තේ කරක් ගැසූ බව ද කියැවෙයි. ඇයව ධනුෂ්කට පෙන්වීමට රැගෙන ආවේ යැයි කියැවෙන්නේ පබාරාය.

එදින සවස ලැගුම්හලට ඔවුන් යන්නේ එම හමුවීමේදී එකිනෙකා අතර වූ එකඟතාවයකින් අනතුරුවය.

“එයා ඉස්කෝලෙ යන කෙල්ලෙක් කියල මම දන්නේ නැහැ. එයා වෙන අයිඩෙන්ටියක් පෙන්නුවා කියලත් මම දන්නේ නැහැ. කාමරේදී ආපු කෝල් එකට එයා කලබල වෙලා තමයි පැන්නේ. එයාව කවුරු හරි බ්ලැක්මේල් කලා කියලයි මට හිතුනේ“ යැයිද ධනුෂ්ක පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ මේ වගේ බොහෝ දේවල් කියා ඇත්තේය. ඒ හැම දෙයක්ම ඔහු කියන්නට උත්සහ ගත්තේ තමන් නිවැරදිකරුවෙක් බව පෙන්වීමටය. ඒ හැරුණු කොට ඇය ජනේලයෙන් පැන්නේ තමාගෙන් බේරීමට යැයි කියාවත් නිකමටවත් කියන්නේ නැත. ඔහු හැමවිටම පෙන්වීමට උත්සාහ දරා ඇත්තේ ඇය තමා සමඟ කාමරයේ සිටියේ අකමැත්තකින් තොරව බව කියා පාන්නටය. ධනුෂ්ක උත්සහ ගත්තේ හැමදෙයක්ම සිදුවූයේ දුරකතන ඇමතුම නිසා බව පොලිස් නිලධාරීන් හමුවේ ඒත්තු ගන්වන්නටය.

එම ඇමතුම ඇයට ලැබුණේ කාගෙන් දැයි තවමත් ප්‍රහේලිකාවකි. එය විසඳන්නට කියා කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් විසින් උපකාරක පංති ගුරුවරයකුගෙන්ද ප්‍රශ්න කර තිබුණේය. ඒ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නම් පවසන්නේ එවැනි ප්‍රශ්න කිරීමක් කළ බව තමාට කළුතර දකුණ පොලිසියේ විමර්ශන නිලධාරීන් දැනුම් නොදුන් බවය. එහෙත් එවැනි ප්‍රශ්න කිරීමක් පොලිසිය සිදුකර තිබුණේය. එහෙත් එම ගුරුවරයා සම්බන්ධයෙන් තොරතුරු එළියට දුන්නේ නැත. ඒ ඇයි දැයි ඇත්තේ ගැටලුවකි. පබාරා පොලිසියට කියා තිබුනේ ඇය උපකාරක පංති ගුරුවරයෙකුට දුරකතන ඇමතුමක් දෙමින් ටිහාරාත් ඇයත් ඔහු සමඟ සිටින බව ටිහාරාගේ මව විමසා සිටියහොත් පවසන ලෙස කී බවය. එසේ ප්‍රශ්න කිරීමට ලක්වූයේ එම උපකාරක පන්ති ගුරුවරයා ද එසේත් නැතිනම් වෙනත් ගුරුවරයකුගෙන්දැයි කියාවත් පැහැදිලි පිළිතුරක් විමර්ශන නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් එළියට එන්නේ නැත. ටිහාරාගේ ජංගම දුරකතනයට ආගිය ඇමතුම් ගැන මෙන්ම අවසානයට ඇයට ආ බව ධනුෂ්ක කියන ඇමතුම ගැන පවා සොයන්නට පොලීසිය එතරම් උනන්දුවක් මුල සිටම නොතිබීම ගැටලුවකි. ඇයට ලද ඇමතුම් ගැන සොයන්නට ඇගේ ජංගම දුරකථනයම තිබිය යුතු නැත. අඩුම තරමින් ගංමෝයට විසිකළායැයි කියන ඇගේ ජංගම දුරකථතනය සොයා ගැනීමට පවා වෙහෙසක් ගත් බවක් ද දක්නට නොවීය. දුරකතනය නැතත් අදාල ජංගම දුරකතන සමාගමෙන් අධිකරණ නියෝග හරහා අවශ්‍ය හැම දත්තයක්ම ලබාගැනීමේ හැකියාවක් ඇත්තේය. ඇගේ දුරකතන අංකය පමණක් ඊට ප්‍රමාණවත්ය.

ඒ ඔස්සේ ඇයට ලද දුරකතන ඇමතුම් සහ ඇය විසින් බලන්නට ඇගේ ලබාගත් දුරකතන ඇමතුම් විශ්ලේෂණය කරමින් මෙතෙක් හෙලි නොවූ බොහෝ දේවල් හෙලිකර ගැනීමට ඇත්තේ හොඳ අවස්ථාවකි. කළුතර දකුණ පොලීසියට මඟ හැරුණු ඒ දේවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නුදුරු දිනයකදී හෙලිකර ගනු ඇත. ඒ ටිහාරගේ මරණයේ අබිරහස තවදුරටත් අබිරහසක් බවට පත්වීමට ඉඩ නොතබාය.

සිළුමිණ


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top