රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කර තිබෙනවා. මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන් බවයි වාර්තා වෙන්නේ.
වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ CCTVදර්ශන විදේශ රටකට යවා පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධව රජයේ නීතීඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.
කෙසේ නමුත් මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සී. සී. ටී. වී. කැමරා දර්ශන පරීක්‍ෂා කිරීම කඩිමුඩියේ කළ නොහැකි බවත් එය පරීක්‍ෂා කිරීමට ජාත්‍යන්තර සුප්‍රසිද්ධ අපරාධ පරීක්‍ෂණ ආයතනවල සහාය ලබා ගැනීමට අවශ්‍ය බවත් පොලිස් මූලස්‌ථානය සඳහන් කරන බවට පසුගියදා වාර්තා වුණා.
තාජුඩීන්ගේ මරණයට අදාළ සීසීටීවී කැමරා දර්ශන ඇතුළත් වීඩියෝ පට ජාත්‍යන්තර පරීක්‍ෂණ ආයතන වෙත අධිකරණය මගින් ලබාදීමට අපේක්‍ෂා කරන්නේ එම දර්ශන වෙනස් කිරීමට කිසිවකුට ඉඩ නොදීමට යෑයි ද පොලිසිය කියා සිටි බවට වාර්තා වුණා.
එනිසා මෙම ඝාතනයේ පරීක්‍ෂණ කටයුතු කිසිදු විටක අඩාල වී නැතැයි ද අදාළ පරීක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් ජාත්‍යන්තර අපරාධ පරීක්‍ෂණවල සහාය ලබාගත් පසු එම සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ සිදුකරන බව ද පොලිසිය තවදුරටත් පවසා ඇති බවට වාර්තා වෙනවා.