2012 වසරේදී ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයේම කතාබහට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව මියගිය තරුණිය සම්බන්ධයෙනුයි. ඇයට සිදුවූ අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් දහස් ගණනක් ජනයා වීදි බැස උද්ඝෝෂණ සිදුකරන්නට වුණා.
එරට රජයේ නීති පවා වෙනස් කරන්නට තරම් මෙම සිදුවීම ලැව් ගින්නක් සේ ඇවිලී ගියා. නමුත් එරට මාධ්‍ය මෙන්ම පොලිසිය විසින් ඇයගේ නම හෝ ඡායාරූප ප්‍රසිද්ධ නොකර සිටීමට වගබලාගත්තේ ඇයගේ නමට මෙන්ම දෙමාපියන්ට සිදුවන අපහසුතාවයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමේ අධිෂ්ඨානයෙනුයි.
කෙසේ නමුත් සිද්ධියෙන් වසර 3ක් ගෙවී ගොස් ඊයේ (16) දිනයේදී ප්‍රථම වරට තරුණියගේ නම මාධ්‍යට අනාවරණය කරන්නට ඇයගේ මව කටයුතු කර තිබුණා. ඒ ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයකදී මාධ්‍යට අදහස් දක්වමින්...
ඇයව මුලින් හඳුන්වා තිබුණේ නිර්භයා සහ ඉන්දියාවේ දියණිය වැනි අන්වර්ථ නාමවලින්. නමුත් මව සඳහන් කර ඇත්තේ තමන්ගේ දියණියගේ සැබෑ නම යෝති සිං බවයි. වසර 4 ක් පමණ සඟවා සිටි සිය දියණියගේ නම ලොවට කීමට තමන් දැන් බය නැති බව ඇය එහිදී පවසා තිබුණා.
ඇයගේ මරණයෙන් බොහෝ කළකට පසුවයි ඡායාරූපයක් පවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණේ. සිද්ධිය සම්බන්දයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් 4 දෙනෙකුට ඉන්දීය අධිකරණය විසින් මරණ දඬුවම ලබාදුන් අතර ඒ අතරට බාලවයස්කාරයෙකුද වනවා.
ඉන්දියාව තුල මෙම සිද්ධිය නිසාවෙන් දැඩි නීති පනවන්නට රජය කටයුතු කළා සේම මේ වන විට එරට තුළ කාන්තා හිංසන විරෝධි කටයුතු වලට එරෙහි කණ්ඩායම් රැසක් බිහිව තිබෙනවා.
මේ සියල්ල අතර සැලකිය යුතු කාන්තාවන් ප්‍රමාණයක් දිල්ලි නගරය තුල තවමත් නොදැනුවත්ව හෝ දැනුවත්ම පිරිමින් අතින් දූෂණය වන බවටයි වාර්තාවෙන්නේ.