ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවය කෙරෙන "ජැෆ්නා නයිට් එක්ස්ප්‍රස්" දුම්රිය ඊයේ (17) සිට ගමන් ආරම්භ කළා.
එම දුම්රිය නතර කරනු ලබන්නේ දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, කොළඹ කොටුව, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චි, යාපනය, කොන්ඩාවිල්, චුන්නාගම් සහ කන්කසන්තුරේ යන දුම්රිය ස්ථානවල පමණයි.
දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන්නේ රාත්‍රී 10.30ට වන අතර ගම්පහ දුම්රිය ස්ථානයට රාත්‍රී 11.04ට ළඟාවනවා..
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට රාත්‍රී 11.52ට සහ අනුරාධපුර දුම්රිය ස්ථානයට අලුයම 2.18ට වන විට ළඟා වීමටයි සැලසුම් කර ඇත්තේ.
යාපනයට දුම්රිය පැමිණෙන්නේ අලුයම 5.35ටයි. දුම්රියේ ගමනාන්තය වන කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට අලුයම 5.54 වන විට ළඟාවනවා.
මෙම දුම්රිය නැවත කොළඹ කොටුව හා ගල්කිස්ස දක්වා කන්කසන්තුරෙයේ සිට ගමන් ආරම්භ කරනු ලබන්නේ ඉරිදා රාත්‍රී 10ටයි.
කොළඹ කොටුවට අලුයම 5.30ටත් ගල්කිස්ස දුම්රිය ස්ථානයට අලුයම 5.54ටත් පැමිණෙනු ඇති.
සෑම සිකුරාදා දිනයකදීම මෙලෙස ගමන් ආරම්භ කරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය නැවත ඉරිදා දින ආපසු කොළඹ කොටුව හා ගල්කිස්ස දක්වා පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදයට හා මාර්ග තදබදයත් මගී තදබදයත් බස් ගාස්තු ඉතා ඉහළ අගයක පැවතීමත් හේතුවෙන් මගී ජනතාවගේ පහසුව උදෙසා මෙම නව දුම්රිය ධාවනයට එක්කර තිබෙනවා.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හා උඩරට දුම්රිය මාර්ගයේ තවත් අතිරේක දුම්රිය යෙදවීමට ඉදිරියේදී කටයුතු කරන ලෙසටයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන දුම්රිය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.