කහවත්ත - ඕපාතවත්ත ප්‍රදේශයේ කාන්තා ඝාතනයක් සම්බන්ධයෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (15) ඉදිරිපත් කෙරුණු සැකකරු ප්‍රදේශයේ තවත් කාන්තා ඝාතන 6කට සම්බන්ධ බවට රහස් පොලීසිය දැනුම් දී තිබෙනවා. පසුගිය කාලයපුරාම රටම තිගැස්සූ මෙම ඝාතකයා සම්බන්ධයෙන් හරිහැටි තොරතුරුක් පොලිසියට සොයාගැනීමට නොහැකි වුනේ බොහෝ අවස්ථාව ඔහු කාන්තාවන් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව කිසිදු සළකුණක් තබා නොගිය නිසාවෙනුයි.
ද්විත්ව ඝාතන දෙකක් ඇතුළුව අනෙකුත් කාන්තාවන් ඝාතනය කර ඇත්තේ දූෂණය කිරීමෙන් පසුව බව ද මෙහිදී හෙළිව තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.
කොටකෙතන ඕපාතවත්තේදී අභිරහස් අන්දමින් කාන්තාවක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මොහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 11වනදා අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සැකකරු නීල් ලක්‍ෂ්මන් නොහොත් මහත්තයා නමැති අයකු බව පොලිසිය පවසන අතර ඔහු 38 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි.
කොටකෙතන ඕපාතවත්තේම කම්කරුවකු ලෙස ජීවත් වී ඇති මොහු ඉකුත් නොවැම්බර් මස 18 වැනිදා මෙම ඝාතනය සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වුණු අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලියේ 400ක් පමණ යොදාගෙන පසුගිය කාලය පුරා පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
මෙහිදී ඝාතනයට ලක්‌වූයේ 49 හැවිරිදි නාදන් බාබු නමැති දෙදරු මවකි. තේ දලු නෙලීමෙන් පසු සිය නිවස බලා යමින් සිටි කාන්තාව සැකකරු විසින් කපා කොටා ඝාතනය කර තිබිණි. සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ කාන්තාව සතු රන් ආබරණ සහ මුදල් කොල්ලකෑම සඳහා ඇය මරා දැමූ බවයි.
එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැකකරු කහවත්ත ප්‍රදේශයේ සිදු වූ තවත් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවයි.
මීට පෙරද කහවත්ත ප්‍රදේශය පුරා සිදුවූ ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළත් ඒවාට සම්බන්ධ නිශ්චිත අයෙකුව හඳුනාගැනීමට නොහැකිව තිබුණා.