කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ ඇතුළු සැකකරුවන් 35 දෙනෙකුට මිනීමැරීමේ චෝදනා ගොනුකර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලන්සූරිය හමුවේ ඊයේ (26) නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.
මීට අමතරව, මෙම අපරාධය සඳහා සැකකරුවන් භාවිතා කළ මුහුණු ආවරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙසත්, ඊට යොදා ගත් ලී පොලූ වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයා වෙත භාර දෙන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට එහිදී නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින මුළු සැකකරුවන්ගේ සංඛ්‍යාව 35කි. මෙම සියලු සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර වියෙහි පසුවන්නෝ වෙති. මෙම සැකකරුවන් අතරින් ඇතැමුන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අපරාධ නඩු කිහිපයක සැකකරුවන් වීමත්, සැකකරුවන් අතරින් 14 දෙනකුම අනුරාධපුර කාර්මික පෙදෙසේ පදිංචිකරුවන් වීමත් විශේෂත්වයකි.
මෙම සියලු සැකකරුවන්ට මිනී මැරීමේ චෝදනාවට අමතරව අයුතු ජන රාශියක නියැළීම, කුමන්ත්‍රණය කිරීම, අයුතු ඇතුළුවීම, මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට ආධාර අනුබල දීම, බරපතළ සහ සුළු තුවාල සිදු කිරීම, තර්ජනය කිරීම, දේපළවලට අලාභ හානි සිදු කිරීම, බිය වැද්දීම, මුදල් කොල්ල කෑම, භාණ්ඩ පැහැර ගැනීම යන චෝදනාද අධිකරණය හමුවේ එල්ල වී තිබේ.
වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අපරාධයට යොදා ගත් බවට සැක කෙරෙන භාණ්ඩ 61ක් සොයාගෙන ඇති අතර එම භාණ්ඩ 61 නඩු භාණ්ඩ ලෙස නම් කර තිබේ. මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළාට රටින් පිටවීම මේ වන විට අධිකරණය මඟින් තහනම් කර තිබේ.