පසුගියදා පාසැලේ විභාගය අවසන් වී නිවස වෙත පැමිණෙමින් සිටි 7වන වසරේ ඉගෙනුම ලැබූ චතුර මධුවන්ත නම් සිසුවාගේ මළසිරුර ළිඳක තිබී සොයාගත් අතර මේ වනවිට ඔහුව ඝාතනය කර ඇත්තේ කවුරුන්ද යනවග අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
ඒ අන් කිසිවෙකු නොව ඔහුගේම පන්තියේ ඉගෙනුම ලැබූ මිතුරෙකුයි. ඔහු මෙලෙස ඝාතනය සිදුකර ඇත්තේ අල්ලාගත් ගිරා පැටවුන් බෙදාගැනීමට නොහැකිවූ නිසාවෙන් බවයි පාපොච්චාරණය කර ඇත්තේ.
“බෑග් එකේ පටිය කරකවලා චතුරගේ බෙල්ල හිරකළා. ඒ ගමන්ම එයා වැටුණා. කකුල් දෙකන් අල්ලා මම එයාව ළිඳට දැම්මා‘‘ ඔහුගේ පන්තියේම සගයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
පාසල් වාර විභාගයට පෙනී සිටින්නට පසුගිය බදාදා පාසල වෙත චතුර නිවසේ සිට පොත් බෑගයද කරේ එල්ලා ගෙන පිය මැන ගියේ කුරිරු ලෙස මියගොස් නැවත නොඑන්නට බැව් දෙමාපියන් සිහිනෙන් හෝ නොසිතන්නට ඇත.
බදාදා දිනයේ පාසල් වේලාව නිමවී පැය දෙක තුනක් යනතුරුද චතුර නිවසට නොආ නිසා දෙමාපියෝ කලබල වූහ. තම දරුවා පිළිබඳ ඇතිවූ දැඩි බිය නිසා අසල්වාසීන් කිහිප දෙනකු සමග පාසල හා අවට ප්‍රදේශවල සෙවුවද දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් ලැබුණේ නැත. දරුවාගේ අතුරුදන් වීම පිළිබඳව දෙමාපියන්ගේ දුක්ගින්දර කඳුලු බවට පෙරළිණි. ඔවුහු තම දරුවාගේ පාසල් මිතුරන්ගෙන් තොරතුරු විමසූහ.
එහිදී කිසියම් හෝඩුවාවක් ලැබිණි. එදින වාර විභාගය අවසන් වීමත් සමග දහවල් 11ට පමණ චතුර තම පන්තියේ යහළුවන් සමග ගිරා පැටවුන් සොයන්නට අසල ප්‍රදේශයකට ගිය බව දරුවන් කිහිප දෙනෙකුම පැවැසූහ. මේ වන විට සිද්ධිය පිළිබඳව පනාමුර පොලිස් ස්ථානයටද සැලවී තිබිණි. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පොලිසිය සමග ප්‍රදේශය අවට සෑම තැනක්ම පීරා දරුවා පිළිබඳ ඉතා දැඩි සෝදිසියක යෙදුණහ.
අවාසනාවන්ත දැක්ම එදින රාත්‍රී 10ට පමණ මාපියන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ නෙතු හමුවේ දැක්කේ කිසිදා දෙමාපියන්ට දැකිය යුතු නොවන දුක්ඛදායක දසුනකි.
චතුරගේ පාසලේ සිට කි.මී. 1ක දුරින් කළුගොඩ නම් වූ ප්‍රදේශයේ අඩි 7ක් පමණ ගැඹුරු අතහැර දැමූ ළිඳක දෙපා ඉහළට සිටින සේ ගිලී පාසල් ඇඳුමෙන්ම සැරසී සිටි අයුරින්ම මියගොස් සිටි චතුරගේ සිරුර හමුවිය. දෙමාපියන් ඇතුළු ඥාති හිතවතුන්ගෙන් ඒ අවස්ථාවේ නැගුණු විලාපය ප්‍රදේශයම කම්පා කළේය.
එහිදී සිදුකළ මරණ පරීක්ෂණයේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කුමාරසිරි මහසෙන් මහතාගේ නිගමනය වී ඇත්තේ මුහුණට පහරදී ගෙල දැඩිව කිසියම් දෙයකින් සිරකර චතුරව ඝාතන කර ඇති බවයි.
චතුර දරුවා සමග පාසලෙන් නික්මී ගිරා පැටවුන් සෙවීමකට ගිය ඔහුගේ පන්තියේ මිතුරා ඔහුගේ පියාද සමග අත්අඩංගුවට ගැනිණි. පසුව සැකකාර පියා මුදා හැර තිබිණි. පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ මෙම සිද්ධිය පිළිබඳ සැකකාර සිසුවා තොරතුරු එකිනෙක හෙළි කළේය.
“විභාගය ඉවර වෙන්නත් පෙර මම චතුර සමග පාසලෙන් පිටත් වෙලා කළුගොඩ පැත්තට ගියා. එතන ළිඳක් ළඟ කූඩුවක ගිරව් පැටවුන් තුන්දෙනෙක් ඉඳලා අල්ලා ගත්තා. චතුරගේ සපත්තු පටියෙන් ගිරවුන් ගැටගහලා ඉන්පසුව සමානව බෙදා ගන්න බැරිව රණ්ඩු වුණා. මම චතුරගේ මූණට ගැහුවා. කරේ එල්ලාගෙන හිටිය පොත් බෑගයේ පටිය කරකවලා බෙල්ල හිර කළා. එයා බිම ඇදවැටුණා. පසුව එයාගේ කකුල් දෙකෙන් අල්ලා ළඟ තිබුණු පාළු ළිඳට දාලා මම ගියා” යනුවෙන් සැකකාර සිසුවාගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත.
සිද්ධිය පිළිබඳව වීඩියෝව පහතින්......VIDEO