සියල්ලම සැලසුම් කර අවසන් වී ගමටම එන්නට කියා පැත්වූ මංගල උත්සවයේ පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට නියමිතව තිබූ වේලාවට මනාලියට උත්සව ශාලාවට පැමිණීමට නොහැකි වීමෙන් ඇති වූ සිද්ධියක් දුරදිග යෑමෙන් මනාලයාගේ පාර්ශවය සහ මනාලියගේ පාර්ශ්වය එකිනෙකාට චෝදනා කරගනිමින් නීතියේ පිළිසරණ පැතූ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා වේ. මනාලයා සීගිරිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මනාලිය දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. මාස අටකට පෙර මොවුන් දෙදෙනා අතර ඇති වූ දැන හඳුනා ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය දඹුල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
ඒ අනුව දෙපාර්ශ්වයේ නෑදෑයන්ට මෙන්ම මිතුරු මිතුරියන්ටද ආරාධනය කර මංගලෝත්සවය ඉහළින් සැමරීමට දෙපාර්ශ්වයම කටයුතු පිළියෙල කර ඇත. මනාල යුවළගේ මධුසමය ගත කිරීමට නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක්ද වෙන් කර තිබී ඇත.
මංගල දිනය යෙදුණු 14 වැනි දින උදෑසන ඡායාරූපවලට පෙනී සිටි මනාල යුවළ පෝරුවේ චාරිත්‍ර සඳහා යළි පැමිණීමේ අරමුණින් ස්ථාන දෙකක සිට ඇත. කෙසේ හෝ නියමිත නැකැත් වේලාවද පසු වී මනාලිය නොපැමිණීම නිසා පෝරුවේ චාරිත්‍ර ප්‍රමාදවීම හේතුවෙන් සිදුවිය හැකි අවමානය නිසා උරණ වූ මනාලයා සහ ඔහුගේ පාර්ශ්වය සීගිරිය පොලිසියට ගොස් ඇත.
විශාල වියදමක් දරා තමන්ගේ විවාහය සැලසුම් කළ බවත් පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට මනාලිය හා ඇගේ පාර්ශ්වය නොපැමිණීමෙන් තමන්ට අවමානයක් හා අපකීර්තියක් සිදුවූ බව හා තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස මනාලයා පොලිසියේ සටහන් තබා ඇත.
පසුව මනාලයා සාමාන්‍ය ඇඳුමින් සැරසී මිතුරන් හා නෑදෑයන් ද කැටුව සීගිරියේ හෝටලයකට ගොස් හොඳට කා බී විනෝද වී ඇත. පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීමට නියමිත වේලාව පසු වී ප්‍රමාද වී පැමිණි මනාලිය හා ඇගේ නෑදෑයන් මනාලයා ඇතුළු මංගල පාර්ශ්වයේ පිරිස තමන් ඇතුළු පිරිස මඟහැර ගොස් ඇති බව මංගල උත්සව ශාලාවට පැමිණ වටහා ගැනීමෙන් පසු ඒ වන විට පැමිණ සිටි නෑදෑයන්ට සකස් කර තිබූ දිවා ආහාර වේල භුක්ති විඳීමට සලස්වා දඹුල්ල පොලිසියට ගොස් මෙම තත්ත්වය තුළ තමන්ට හා තම පවුලට අවමානය හා ආර්ථික පාඩුවක් සිදුවූ බව සඳහන් කරමින් පැමිණිල්ලක් කර ඇත.
විවාහ වීමට පෙර සිට තමන් අසනීප වී සිටි බවත් උදෑසන ඡායාරූප ගැනීමෙන් පසුවද යළි උණ තත්ත්වය උත්සන්න වීම හා වෛද්‍යවරයකු වෙත යෑමට සිදුවීම නිසා පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ නිසා මෙම තත්ත්වය ඇති වූ බව මනාලිය පවසා ඇත.