සංගීතය සමඟ ජීවිතය ගලාගෙන යනවා. විශේෂ වැඩ කටයුත්තක් තවම ආරම්භ කළේ නැහැ. පසුගිය නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අගය කරන ජාතිකාභිමාන ගීතයක් නිර්මාණයක් කළා. එහි වැඩකටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවූවා. මේ දවස්වල රියැලිටි තරග සඳහා සම්බන්ධ වෙලා ඉන්න දරුවන් මගේ ළඟට එනවා පුහුණුවීම්වලට. ඉතින් මේ දිනවල විශේෂයෙන්ම ඔවුන්ව පුහුණු කිරීමට වැඩි කාලයක් යොදවනවා.
"රාජ් මියුසික් සෙන්ටර්" හි වැඩකටයුතු හොඳින් කෙරීගෙන යනවද?
කොවිඩ් තත්ත්වය නිසා ආයතනයේ වැඩකටයුතු තරමක් අතපසු වුණා. තවමත් නිසියාකාරව ළමුන් සියලුදෙනාම එක්කාසු කරගෙන ආයතනික වශයෙන් වැඩ කටයුතු කරන්න නොහැකි වුණා. නමුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ළමුන් කාණ්ඩ වශයෙන් වෙන් කරලා ඉගැන්වීම් කටයුතු කරන්න සැලසුම් කරමින් ඉන්නවා. රටේ වාතාවරණය යහපත් වන තුරු හැකි පමණින් දරුවන්ට උගන්වනවා, ඔවුන්ව පුහුණු කරනවා.
වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණු ගීතය මොකද්ද?
මම ගායනා කළ ගීත අතරින් "මා ආදරෙයි මුළු ලොවටත් වඩා" කියන ගීතයට තමයි වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණේ. බටහිර සංගීතය පැත්තට බර කරලා තමයි ගීතය නිර්මාණය කළේ. මගේ මුල්ම ප්‍රේක්ෂකයන්ට ගීතය නීරස නොවෙන විදිහටත් අලුත් පරපුරට ගැළපෙන විදිහටත් එම ගීතය නැවත සකස් කළා. තවමත් එම ගීතය ප්‍රේක්ෂකයන් රස විඳිනවා. මා විසින් ගායනා කළ එක් ගීතයක් ඇරෙන්න අනෙක් සියලුම ගීත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත්තා. ඒ ගැන අවංකවම මම සතුටු වෙනවා.
ඔබ වර්තමාන සංගීත ක්‍ෂේත්‍රය පිළිබඳ තෘප්තිමත් වෙනවද?
ඒක මෙහෙමයි. වර්තමාන සංගීත ක්‍ෂේත්‍රය එක් පැත්තකින් දියුණු වෙලා. ඒ වගේම තවත් පැත්තකින් පරිහානිය කරා ළඟා වෙලා. අපි ඒ කාලයේ ගොඩක්ම වැඩ කළේ ස්ටුඩියෝවල. මේ වෙනකොට ස්ටුඩියෝ එකක් දෙකක් ඇරෙන්න අනෙක් සියල්ලම වහලා දාලා. ඒකට හේතුව තමයි Home Studios පටන් ගත්තා. මේ තුළින් Electronic Music කියන සංකල්පය බිහි වුණා.
අලුත් නිර්මාණ බිහි වුණා. එහෙම බැලුවම තාක්ෂණික වශයෙන් සංගීතය සෑහෙන දියුණු වෙලා. නමුත් තාක්ෂණික සංගීතයෙන් ටිකක් බැහැර වෙලා 70 දශකවල නිර්මාණ රසවිඳින ප්‍රේක්ෂක පිරිසක් බිහිවෙලා තියෙනවා. 70-80 දශකවල සංගීතය හොය හොයා රස විඳින්න අලුත් පරපුර පෙලැඹිලා තියෙනවා. ඒ ගැන කල්පනා කරලා බැලුවම මට හිතෙන්නේ ආපහු අපි පරණ තැනටම ඇවිල්ලා කියන එක.
වර්තමාන රියැලිටි තරග පිළිබඳව ඔබ මොනවගේ මතයක්ද දරන්නේ?
ඒ සම්බන්ධව නම් මම හැමදාම එකම මතයක් තමයි දරන්නේ. ඒකට හේතුව තමයි අපේ රට දැන් ඉන්දියාව වගේ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ නැටුමක් නටන්න බැරි සින්දුවක් කියා ගන්න බැරි ළමයෙක් නැහැ. හැම ළමයෙක්ටම මොකක්ම හරි සෞන්දර්යාත්මක හැකියාවක් තියෙනවා. මම හිතනවා එවැනි තත්ත්වයක් දැන් ලංකාව තුළ පවතිනවා. ඒ නිසා රියැලිටි තරග පැවැත්වෙන එක හොඳයි. මම ඒකේ වැරැද්දක් දකින්නේ නැහැ. දක්ෂතාවන් තියෙන ළමයි තරගය සඳහා ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ ඉදිරිපත් වෙන සියල්ලෝම දක්ෂයි. හැකියාව තියෙනවා. ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය නැහැ. තරගයට සහාභාගි වෙලා වෙනසක් කිරීම ප්‍රමාණවත්. උත්සාහය, කැපවීම, සහිත තරගකරුවාට ලොකු ගමනක් යන්න පුළුවන්. මේ වෙනකොට ප්‍රධාන නගරවල ළමයින්ට පමණක් නෙමෙයි, ගම්බද ළමයින්ට පවා මේ සඳහා සහභාගි වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
නමුත් පසුගිය දවස්වල කතාබහක් ඇතිවුණා රියැලිටි තරග ඇතුළේ තරගකරුවන්ට අසාධාරණකම් වෙනවා කියලා?
අසාධාරණකම් සිද්ධ වෙන අවස්ථා තියෙනවා, නැත්තේ නැහැ. මට අවස්ථාවක් ලැබුණු වෙලාවට මම රියැලිටි තරග බලනවා. එහෙම වෙලාවට මම ප්‍රධාන වශයෙන් දකින දෙයක් තමයි විනිශ්චය ලබාදීම අපහසු බවක්. මම ඒ අපහසුතාවට මුහුණ දීලා තියෙනවා. එතැනදී සජීවීව විනිශ්චයකරුවාට ශ්‍රවණය වෙන හඬට තමයි විනිශ්චය ලබා දෙන්නේ. නමුත් වැඩසටහන රූපවාහිනියේ විකාශය වෙනකොට හිතෙනවා අපරාදේ ඔහුව තව වටයක් ඉස්සරහට යවන්න පුළුවන්කම තිබුණා කියලා. එහෙම අවස්ථාවලදී තමයි කතාබහක් ඇති වෙන්නේ අසාධාරණයක් වුණා කියලා. නමුත් ඒක මනුෂ්‍ය ස්වභාවය. සජීවී ගායනයට ලබාදෙන විනිශ්චය සහ පටිගත කළ ගීතයට ලබාදෙන විනිශ්චය කියන්නේ දෙකක්. ඒ කොහොම වුණත් තරගකරුවාට කිසිදු අසාධාරණයක් සිදුවෙන්නේ නැහැ.
පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කළොත්?
ඉතාමත් හොඳයි. සංගීතමය පැතිකඩ සහ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යනවා. ප්‍රශ්න තියෙනවා, නැත්තේ නැහැ. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නයි, පුතයි. මගේ බිරිය ගුරුවරියක්. අපි ඉතින් ගමට වෙලා එදිනෙදා වැඩකටයුතු ටිකත් කරගෙන සතුටින් ජීවත් වෙනවා. බිරියගෙන් සහ දරුවන්ගෙන් මට ලැබෙන සහයෝගය ගැනත් මතක් කරන්නම ඕනෑ.
මොනවද ඉදිරි සැලසුම්?
අලුත් වැඩක් පටන් ගත්තා. මම තනු නිර්මාණය කරනවා. මීට ටික කාලෙකට කලින් නිර්මාණය කරපු පද රචනාවන් කිහිපයක් තිබුණා. ඒවාට තනු නිර්මාණය කරමින් ඉන්නේ මේ දවස්වල. තනු නිර්මාණ එකතුවක් හදන්න තමයි සැලසුම් කළේ. යම් කලෙකදී මවිසින් ගායනා කිරීමට හෝ මා සමඟ වැඩ කරන්න කැමැති අයකුට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම Online Class කරනවා. ඒ ටික තමයි.
අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
මම මේතාක් ආපු ගමන ගැන සන්තෝසයි. බාධක සහිත ගමනක් ආවේ. ගායකයෙක් වුණා. රංගන ශිල්පියෙක් වුණා. එදා ලැබුණ ජනප්‍රිතාව අදටත් ඒ විධියටම තියෙනවා කියලා හිතනවා. පිළිගැනීම තියෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය, ගෞරවය ලැබෙනවා. ඒක ගොඩක් වටිනවා. සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා. කාලෙකට පස්සේ හරි අපිට කතා කරන එක ගැන ඇත්තටම සතුටුයි.
නිකේෂලා රණතුංග
මව්බිම