ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ, සිය නිවසේ මෙහෙකාරියට පහරදුන් බවට වන සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
ඔහු කියා සිටියේ පසුගිය 27 වනදා එම මෙහෙකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා තමන්ට පහරදෙන බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවයි.
එදිනම කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු ඇය මේ වනවිට එහි 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කෙසේ වෙතත්, ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙම මෙහෙකාර කාන්තාව තමන්ට සිදුකරන හිංසාවන් දරාගත නොහැකි බව පවසමින් 27දා රාත්‍රී 12.15ට පමණ ගල්කිස්ස පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් පසුගිය 15 දා මෙම විනිසුරුවරයාගේ නිවෙසේ මෙහෙකාරිනියක්ව සේවයට පැමිණි බවත් එදින පටන් ඇයට නිවෙසින් එළියට යාමට ඉඩ නොදී රඳවා ගෙන සිටි බවත් එම නිවෙසේ සිටින මන්ද බුද්ධික දැරියක් විසින් තමන්ට අමානුෂික ලෙස පහරදෙන බවත් එය අදාළ විනිසුරුවරයා සිනාසිසී බලා සිටින බවත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මීට අමතරව දිගින් දිගටම විනිසුරුවරයා ඇයට පහර දෙන බවත් ඔහු සිය පිස්තෝලයෙන් පහරදීම නිසා හිසේ ස්ථාන කිහිපයක ගැට මතුවී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.